වායු දුෂණය

Photo credits- Daily Mirror Sri Lanka

පිරිසිදු වාතය සෑම ජීවියෙකුගේම මුලික අවශ්‍යතාවයකි. නමුත් වර්තමානයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වායු දුෂණය වර්තමානය වන විට ප්‍රබල ගැටළුවක් වෙමින් පවතී.

ස්වාභාවිකව හෝ මිනිසාගේ මැදිහත්වීමෙන්  රසායනික ද්‍රව්‍ය සහ අහිතකර  වායුන් පරිසරයට මුදා හැරීම හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මකභාවය අඩු වීම ඉතා සරලව වායු දුෂණය ලෙස හැඳින්විය හැකිය. මෙමඟින් මිනිසාගේ සෞඛ්‍යයට මෙන්ම රටෙහි ආර්ථික සංවර්ධනයට සෘජු සහ වක්‍ර බලපෑම් රාශියක් ඇති  කරනු ලබයි.

වායු දුෂණය වර්තමානය වන විට පෘථිවිවාසි සියළුම ජීවින් මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවකි. පිරිසිදු වාතය වායු වර්ග කිහිපයකින් අන්තර්ගත වේ. (එනම්, නයිට්‍රජන්හා ඔක්සිජන්මුළු පරිමාවෙන් 99%, ආගන්/කාබන්ඩයොක්සයිඩ්/නියෝන්/හීලියම් හා ඕසෝන් යන වායු වර්ග 1%ක ප්‍රමාණයකින් අන්තර්ගත වේ) වෙනත් අහිතකර වායුන් (කාබන්මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, හයිඩ්‍රොකාබන් වර්ග, ඕසෝන්, පෙරොක්සිඇසිටීල් නයිට්‍රේට්, සල්ෆර් ඔක්සයිඩ්, අංශුමය ද්‍රව්‍යය, කාබන්ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන් ආඳි වායු, මේ අතරින් කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් ගිම්හල් වායු (Green house gases) ලෙස සැළකෙන අතර මේවයේ සාන්ද්‍රණය වැඩිවීම වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීමට හේතු වේ.) පිරිසිදු වාතය සමඟ මුසු වූ විට වායු දුෂණය සිදුවීම නොවැළක්විය  හැකිය. බොහෝ මිනිසා විසින් භාවිතා කරනු ලබන ද්‍රව්‍ය මීට ප්‍රධාන හේතු කාරක වේ. ඊට නිදසුන් ලෙස සිගරට් දුම තුළ කාබන් මොනොක්සයිඩ් වායුව අඩංගු වීම සහ දර සහ ගල් අඟුරු දහනයේදී අධිකව කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම දැක්විය හැකිය. මෙම අහිතකර වායුන් වායුගෝලය සමඟ මුසුවීම, ඕසෝන් ස්ථරය විනාශ වීමටද හේතු වේ. එමෙන්ම සීග්‍ර නාගරීකරණය, වාහන වලින් පිටවන දුම, කර්මාන්තශාලා ප්‍රමාණය වැඩි වීම, ගෘහස්ත ජෛව ස්කන්ධ  දහනය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ වායු දුෂණය සිදුවන ආකාරයන්ය. එමෙන්ම මානව කටයුතු මඟින් නිකුත් කෙරෙන දුෂක ද්‍රව්‍යයත් ස්වාභාවික ක්‍රියාවලින්ගෙන් නිකුත් කෙරෙන විවිධ අංශුමය ද්‍රව්‍යත් පරිවර්ති ගෝලයට එකතු වීම මඟින් වායු දුෂණය සිදු වේ. වායුගෝලයට දුෂක ද්‍රව්‍ය එකතු කරන ස්වාභාවික මුල ලෙස ගිනිකඳු (සල්ෆර් ඩයොක්සයිඩ්, ධුලි) ලැව්ගිනි (කාබන්ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන්), පැලෑටි (පරාග,  හයිඩ්‍රොකාබන් වර්ග), දිරා යන පැලෑටි කොටස් (මීතේන්, හයිඩ්‍රජන් සල්පයිඩ්), පස (ධුලි, වෛරස්) සහ සාගරය (ලවණ වර්ග) යනාදිය දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ වායු දුෂණය සිදුවන ආකාර වර්ගීකරණය කළ විට ඊට බලපා ඇති  ප්‍රධානතම සාධකය වනුයේ රථ වාහන මඟින් පිටවන අහිතකර දුමාරයන්ය. මීට නාගරිකව රථ වාහන ප්‍රමණය සීග්‍රයෙන් වැඩිවීම,  රථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම මඟින් ඩිසල් වාහන මඟින් අහිතකර වායු අංශු පිටවීමත් පෙට්‍රල් වාහන මඟින් කාබන් මොනොක්සයිඩ් හා වාෂ්ප වන සුළු කාබනික සංයෝග පිට වීම සහ පොදු ප්‍රවාහන බස් රථ නැවතුම් පළවල් වලදී අනවශ්‍ය ලෙස රථ වාහන පන ගන්වා නවතා තැබීම වැනි හේතුන් බලපානු ලබයි. තවද මෙරට කර්මාන්ත වර්ධනය සහ ඊට සමගාමීව සිදුවන කාර්මික කටයුතු හේතුවෙන්ද පසුගිය දශකය පුරාවට වායු දුෂණයේ වැඩි වීමක් සිදු වී ඇත. කර්මාන්තශාලාවන් මඟින් පිටවන අහිතකර වායුන් පාලනය කීරීමට ක්‍රමවේද නොතිබීම, කර්මාන්තශාලා සැළසුම් කිරීමේදී පරිසරය නොසළකා හැරීම හා යල් පැනගිය තාක්ෂණික ක්‍රමවේද භාවිතය මීට හේතු වී ඇත.

එමෙන්ම කර්මාන්තශාලාවන්හි බහුලව භාවිතා වන ඉන්ධන වර්ග වනුයේ විදුලිය, ඩිසල් හා දැව වර්ගයන්ය. සිමෙන්ති හා හුණුගල් නිෂ්පාදනය, පෙට්‍රෝලියම් පිරිපහදුව හා භාවිතය, සක්‍රිය කාබන් නිෂ්පාදනය වැනි කර්මාන්ත තුළින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සිදුවේ. මේ අනුව කර්මාන්ත මඟින් සිදුවන වායු දුෂණය, අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කිරීමේදී ජනනය වන වායු දුෂණය (සිමෙන්ති කුඩු, ඊයම්, ලෝහ, උඳුන් මඟින් ජනනය වන ඊයම් අංශු, ඇසිඩ් උඳුන් හා ඇසිඩ් පිරි සැකසුම් යන්ත්‍ර මඟින් ජනනය වන දුමාරය) සහ බලශක්ති නිපදවීමේ ක්‍රියාවලියේ දී ජනනය වන වායු දුෂණයන් (උඳුන් හා බොයිලේරු) යනුවෙන් ආකාර දෙකක් යටතේ වර්ග කළ හැකිය. තවදුරටත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගෘහස්ථ ඉවුම් පිහුම් කටයුතු සඳහා ජෛව ස්කන්ධ භාවිතා කරනු ලබන අතර එය ගෘහස්ථව වායු දුෂණය කෙරෙහි බෙහෙවින් බලපානු ලබයි. වර්තමානය වන විට මෙරට 90%ක ප්‍රමාණයකට වඩා නිවැසියන්ට විදුලි පහසුකම් තිබුණ ද විදුලිය භාවිතයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් බොහෝ ජනයා තම නිවෙස් ආලෝකකරණය කිරීම සඳහා පමණක් විදුලිය භාවිතා කරනු ලබයි. තාප විදුලිය ජනනය කිරීමේදී සිදුවන වායු විමෝචනයනද ශ්‍රී ලංකාවේ වායු දුෂණය සඳහා සැළකිය  යුතු ප්‍රමාණයකින් දායක වෙයි. වර්තමානය වන විට ජල බල ශක්ති වල සීමාසහිත බවත්,විදුලිය සඳහා වැඩි ඉල්ලුමක් පැවතීමත් මීට හේතු වී ඇත. මීට අමතරව හේන් ගොවිතැන හා ලැව් ගිනි සුළු වශයෙන් වායු දුෂණය සඳහා දායක වේ. මේ වන විට මෙමඟින් ඇතිවන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

Photo credits- Daily FT

තවදුරටත්, පරිසරයට නොසැළකිළිමත්ව අහිතකර වායුන් මුදා හැරීම තුළින් වායු දුෂණය සිදුවනවා පමණක් නොව එය ඉතා අහිතකර අයුරින් මිනිස් සෞඛ්‍යය කෙරෙහිද බලපානු ලබයි. මෙය මුලික වශයෙන් මිනිස් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලට බලපානු ලබයි. එමෙන්ම ගෘහස්ථ ජෛව ස්කන්ධ දහනය තුළින් මිනිස් සෞඛ්‍යයේ පැවැත්මට අහිතකර ද්‍රව්‍යන් වන කාබන් මොනොක්සයිඩ් (CO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NO2), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) පෝමැල්ඩිහයිඩ් හා බහුචක්‍රීය කාබනික වැනි පිළිකා කාරක අඩංගු බෙන්සොපයිරින් නිෂ්පාදනය වේ. මේ හේතුවෙන් ගෘහස්ථ වායු දුෂණයට නිරාවරණය වීම තුළින් නිදන්ගත රෝග වන නියුමෝනියාව, උග්‍ර ස්වසන ආසාදන, ක්ෂය රෝගය, ඇදුම, හෘද වාහිනී (Cardiovascular) ආශ්‍රිත රෝග, ඇස්වල සුද ඇතිවීම වැනි ඉතා අහිතකර සෞඛ්‍යය ප්‍රතිපල අත් විය හැකිය. ඇතැම් විට තම ජීවිතය පවා අහිමිවී යයි. දීර්ඝකාලීනව මේ ආකාරයෙන් ගෘහස්ථ වායු දුෂණයට නිරාවරණය වීම තුළින් පිළිකා හට ගැනීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවද නවීන පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.

වායු දුෂණය නිසා මිනිසාගේ සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් වලට අමතරව මෙම අහිතකර වායුන් වෘක්ෂලතා, පස, ජලය, දුම් වලා නිර්මාණය වීම සහ දේශගුණික විපර්යාස කෙරෙහිද සෘජුව බලපානු ලබයි.

පරිසරය ආරක්ෂා කිරීම සහ කළමණාකරණය කිරීම අරමුණින් ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතරම ජාතික පාරිසරික රෙගුලාසි යටතේ වායු දුෂණ විමෝචන වායු ගෝලයට මුදා හැරීම තහනම් කර ඇත. මෙම රෙගුලාසි කිහිපයක් ලෙස 2000 ජුනි 23 දිනැති 1137/35 අංක දරණ සංශෝධිත රෙගුලාසිය (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති), 2008 ජුලි මස 09 දිනැති 1557/14 දරණ අති විශේෂ ගැසට් පත්‍රය සහ 2003 ජුනි මස 30 දිනැති අංක 1295/11 දරණ ජාතික පාරිසරික සංශෝධිත ගැසට් පත්‍රය දැක්විය හැකිය. එමෙන්ම මේ සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වී ඇති වැඩසටහන් සදහා නිදසුන් ලෙස වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන හඳුන්වාදීම (Vehicle Emission Test – VET) දැක්විය හැකිය. 

මීට අමතරව මෙතෙක් කාලය පුරාවට මෙරට වායු දුෂණය අවම කිරීම සඳහා විවිධ පර්යේෂණ සිදු කිරීම, මහජනතාව දැනුවත් කිරීම, ගැසොලින් බල ශක්තියෙන් ධාවනය කරන වාහන වලින් පරිසරයට මුදා හරින වායු විමෝචන අවම කිරීම සඳහා ඊයම් රහිත ගැසොලින් හඳුන්වාදීම, ඩීසල් වාහන හා ඩීසල් බල ශක්ති නිෂ්පාදනාගාර හා ඔටෝ ඩීසල් භාවිතා කරන කර්මාන්තශාලා මඟින් වායු ගෝලයට මුදා හැරෙන සල්ෆර්ඩයොක්සයිඩ් (SO2) විමෝචන අවම කිරීම සඳහා අඩු සල්ෆර් ඩීසල් හඳුන්වාදීම, රජය විසින් දෙපහර එන්ජිම් සහිත ත්‍රිරෝද රථ (Two Stroke Three Wheelers) ආනයනය තහනම් කිරීම සඳහන් කළ හැකිය.

මේ අයුරින් කර්මාන්තශාලා ප්‍රමාණය වර්ධනය වීම, වැඩිවන මාර්ග තදබදය, තාප විදුලිය ජනනය කිරීම හා සිග්‍රව සිදුවන නාගරීකරණය වැනි දේ මඟින් අනෙකුත් ආසියාතික රටවල් වලට මුහුණපෑමට සිදුවී තිබෙන උග්‍ර වායු දුෂණ ගැටළු වලට ශ්‍රී ලංකාව තවමත් ලක් නොවීම වාසනාවන්ත කරුණකි.  

-රංගනී කුරේ-

No comments yet.

Leave a comment

Your email address will not be published.