දේශගුණික විපර්යාස

මිනිසාගේ සෘජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ පැවතුණ සංයුතියේ වෙනස්‌වීමත් සමඟ දේශගුණයේ විවිධ වෙනස්‌වීම් ඇතිවීම සරලව දේශගුණ විපර්යාස ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව දේශගුණික විපර්යාසයන් ලෙස හඳුන්වනු ලබන්නේ වායුගෝලය තුළ දිගුකාලීනව සිදුවන වෙනස්‌වීම් තත්ත්වයක්‌ ලෙසින් හඳුන්වා දිය හැකි වේ.

දේශගුණික විපර්යාස වර්ධනය වීම කෙරෙහි මූලික වශයෙන්ම බලපානු ලබන සාධක 02 ක්‌ පවතී. එනම්,

    • ස්‌වභාවික සාධක
    • මානව ක්‍රියාකාරකම්

මේ කෙරෙහි බලපානු ලබයි.

දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර  ප්‍රතිඵල වර්තමානය වනවිට ලෝකවාසී සැවෝම අත්විඳිමින් සිටිති. අතීතය හා සංසන්දනය කිරීමේදී වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ද ස්‌වභාවික ආපදාවල සංඛ්‍යාතය හා තීව්‍රතාවය වර්ධනය වීමක්‌ හඳුනා ගත හැකි වේ. එනම් දිගුකාලීන නියං තත්ත්වයන් මෙන්ම ක්‌ෂණික ගංවතුර තත්ත්වයන් සිදු වෙමින් පවතී. එමෙන්ම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ක්‌ෂණික වර්ෂා තත්ත්වයන් හා ඇතැම් අවස්‌ථාවල එකම ප්‍රදේශයක්‌ තුළට වර්ෂාව පැවතීම මෙන්ම ඇතැම් ප්‍රදේශයකට වර්ෂාව නොමැතිවීම හටගැනීම සිදුවේ. එමෙන්ම වසර ගණනාවක්‌ පුරා ව්‍යාප්ත වනු ලබන නියං කාල පරිච්ඡේද හඳුනා ගත හැකි වීම මෙන්ම මේ නිසා මිනිසා මෙන්ම වනජීවීන් මෙන්ම පරිසර පද්ධතිවල පැවැත්ම කෙරෙහි යම් මට්‌ටමකින් බලපෑම් සිදු වීම ද හඳුනා ගත හැකි වේ. එමෙන්ම හරිකේන් හා අකුණු කුණාටුවල වර්ධනය වීමේ ස්‌වභාවයක්‌ ද දේශගුණික විපර්යාස නිසා හඳුනාගත හැකි වේ.

ධ්‍රැවීය ග්ලැසියර් දියවී යාම

Image Credits: Gabriel Kuettel

ප්ලාස්ටික් මගින් ඇතිවන පරිසර දුෂණය

Image Credits: Stijn Dijkstra

දේශගුණ ක්‍රියාවලිය සංකීර්ණ, එකිනෙක සමඟ  අන්තර් ක්‍රියාවලියක සම්බන්ධතාවයක්  ඇති, වායුගෝලය, ගොඩබිම, අයිස්‌ හා හිම, සාගර හා අනෙකුත් ජල පද්ධතිවලින් සමන්විත වූවක්‌ වන අතර එම දේශගුණ පද්ධති සදහා අවශ්‍ය ශක්‌තිය සූර්ය විකිරණ මඟින් ලබා දෙනු ලබයි. ෆොසිල ඉන්ධන දහනය වැඩි වශයෙන් සිදු වීම දේශගුණ විපර්යාස හට ගැනීමට  ප්‍රධාන හේතුව වී ඇත. එම නිසා නිශ්චිත වර්තමාන සහ අනාගත පරපුරට දේශගුණ විපර්යාසවලට මුහුණ දෙමින් ජීවත් වීමට සිදු වන බව දේශගුණ විපර්යාස පිළිබද අන්තර් රාජ්‍යය මණ්‌ඩලය (Inter-Governmental Panel on Climate Change – IPCC) තහවුරු කර ඇත. නිවර්තන කලාපයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටක්‌ වන ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාසවලට හේතු වන ක්‍රියාකාරකම් සඳහා ඉතා ම අඩුවෙන් දායක වුවත්, දේශගුණ විපර්යාස නිසා ඇති වන අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු ව ඇති රටක් ලෙස දැක්විය හැකිය.

දේශගුණික විපර්යාස හමුවේ කාලගුණික රටාවන් වෙනස්වීම, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාව වෙත මෙම දේශගුණික විපර්යාස විවිධාකාරයෙන් බලපා ඇත.  එනම්, ඉතා කෙටි කාලයක් ඇතුළත ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන්  මෙන්ම මධ්‍යම කඳුකරයේ නායයෑම් ආඳිය බහුලව ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙමින් පවතී. මෙහිදී ගංවතුර තත්ත්වයන් ඇති වීමට බලපානු ලබන ප්‍රධාන හේතුව අධික වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගැලීම වුවත්, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ගංවතුර ඇති වීමේ වැඩිවීමක් වර්තමානයේදී දක්නට ලැබේ. ඒ අනුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වීමට බලපානු ලබන ප්‍රධාන හේතු ලෙස,

    • වගුරු බිම් ගොඩ කිරීම
    • වන ප්‍රදේශ එලි පෙහෙළි කිරීම
    • නිසි සැලසුමකින් තොරව ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති
    • අක්‍රමවත් ප්ලාස්ටික් බැහැර කිරීම

දැක්විය හැකිය.

මින් වසර කීපයකට පෙර කිසි දිනෙක ගංවතුරකට මුහුණ දී නොමැති පිරිස්, වර්තමානයේ දී කෙටි වර්ෂාවකින් පසු වුවද මහ ගංවතුර ආපදාවන්ට මුහුණ දෙමින් සිටී. වගුරැ බිම් ගොඩකිරීම හා අවිධිමත් ලෙස සිදු කරනු ලබන සංවර්ධන කටයුතු මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත. යම් ප්‍රදේශයකට පතිත වන වර්ෂා ජලය හෝ ගංගාවක් පිටාර ගැලීමේ දී වැඩිපුර ජලය එම ප්‍රදේශයේ පිහිටා ඇති වගුරුබිම්වලට ගලා යෑමෙන් ගම්මානවලට ජලගැලීම් තර්ජන අවම කළ හැකිය. නමුත් එකී වගුරුබිම් ගොඩ කිරීමෙන් පිටාර ගලන වතුර වෙනත් පහත් බිම්වලට ගලා යන තත්වයක් හට ගනී.

එමෙන්ම පසුගිය කාලවකවානුව තුළ  අධික උණුසුම් කාලගුණ තත්ත්වයන් හමුවේ කෘමි උවදුරු පැතිරී යාමද හඳුනාගත හැකි වේ. ඇතැම් බෝග වර්ගවල අස්වැන්න අවම කිරීමට මෙන්ම ජීවී විශේෂ වඳ වී යාම කෙරෙහිද අහිතකර අන්දමින් දේශගුණික විපර්යාසයන් බලපා ඇත. එමෙන්ම ධ්‍රැව කලාපීය ප්‍රදේශවල ග්ලැසියර දියවීම මත සාගරික ජල මට්ටම  ප්‍රසාරණය වීම දූපතක්‌ වන ශ්‍රී ලංකාවට ද යම් මට්‌ටමකින් අභියෝගයක් වනු ඇත. සංචාරක කර්මාන්තය කෙරෙහි මෙය අනාගතයේදී බලපෑමක් සිදු කිරීමට හැකියාවක් පවතී.

දේශගුණික විපර්යාස අවම කිරීම හරහා සුරක්‌ෂිත හා තිරසර අනාගතයක්‌ ස්‌ථාවර කිරීමට ගෝලීය මට්‌ටමින් විවිධ ක්‍රියාමාර්ග, සම්මුති, සමුළු පවත්වා තිබේ.  1992 වසරේදී පැවැති රියෝ සමුළුවේදී හරිතාගාර වායු සාන්ද්‍රණය දේශගුණික පද්ධති කෙරෙහි හානිකර නොවන අන්දමින් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සම්මුතිය ඇති කරගෙන ඇත. එමන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය ගෝලීය වශයෙන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා නිත්‍යානුකූල පදනමක් සහිත කියතෝ සම්මුතිය 1997 වසරේ දී ඇති කර ගන්නා ලදී. තවද එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශවකරුවන්ගේ 21 වන සම්මේලනයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 කට වඩා වර්ධනය වීම අවම කිරීම අරමුණු කොට ගනිමින් පැරිස් ගිවිසුම ද සම්මත කර ඇත.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

    • හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා මූලික අවධානය යොමු විය යුතුය. එහිදී බලශක්‌ති පරිභෝජනය කාර්යක්‌ෂමතාවයෙන් යුක්‌ත උපකරණ භාවිතා කිරීම.
      අඩු බලශක්‌තියක්‌ භාවිතා වන විදුලි බල්බ භාවිතය හා අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.
    • පොදු ප්‍රවාහන සේවාවක්‌ හැකි සෑම විටම භාවිතා කිරීම.
    • පරිසර හිතකාමී දෙමුහුන් වාහන හා විද්‍යුත් වාහන භාවිතය හා දිරිගැන්වීම.
    • වන හරණය අවම කිරීම හා වන රෝපණය සිදු කිරීම හා ඒ කෙරෙහි දිරිගැන්වීම.
    • කාබනික වගා කේෂ්ත්‍රයන් කෙරෙහි යොමු වීම.
    • හැකි සෑම විටම පොලිතීන් ප්ලාස්‌ටික්‌ උපකරණ හා අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම හා නැවත භාවිතා කිරීම.
    • කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම.
    • පරිසර සහතික ලත් හරිත ද්‍රව්‍ය මිලදී ගැනීම කෙරෙහි ජනතාවගේ ආකල්ප හැඩගසා ගැනීම.
    • ජල සම්පත සුරක්‌ෂිත ලෙස පරිහරණය කිරීම.
    • ගොඩනැඟිලි ඉදිකිරීමේදී හා සැලසුම් කිරීමේදී හරිත ඉදිකිරීමේ තාක්‌ෂණය භාවිතා කිරීම.
    • පුනර්ජනනීය බලශක්‌ති මාධ්‍යයන් වෙත ප්‍රවේශ වීම.

අධික වායු දුෂණය

Image Credits: Pixabay

දේශගුණික විපර්යාස යන්න වර්තමානය වන විට විවිධ අහිතකර ප්‍රතිඵල රැසක්‌ම ජනිත කරවනු ලබන අතර මෙය තීව්‍ර වීම කෙරෙහි මූලික වශයෙන්ම බලපා තිබෙන්නේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට විමෝචනය කරනු ලබන හරිතාගාර වායුන්ය. ගෝලීය මට්‌ටමින්, කලාපීය මට්‌ටමින් හා ප්‍රාදේශීය මට්‌ටමින් විවිධ අහිතකර ප්‍රතිඵල ජනිත කරවීම මෙන්ම මිනිසාට මෙන්ම සංවේදී පරිසර පද්ධති කෙරෙහි මෙය අභියෝගයක්‌ වී පවතී. මෙම අහිතකර තත්වයන් අවම සඳහා  සරල ජීවන රටාවකට අවතීර්ණ වීම හා පරිසර සංරක්‌ෂණය හා තිරසර සම්පත් භාවිතයක්‌ සඳහා ප්‍රජාව පෙළගැස්‌වීම කාලීන අවශ්‍යතාවක්‌ බවට පත්ව ඇත.

සටහන: රංගනී කුරේ

Cover Photo: Pixabay

No comments yet.

Leave a comment

Your email address will not be published.