ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ මුහුණපාන තර්ජන

දිගුකාලීන සංරක්ෂණය අරමුණු කර ගනිමින් නිතීමය සහ වෙනත් පරානුමිතීන්ට යටත්ව කළමනාකරණය කිරීම සඳහා භූගෝලීයව සීමා නීර්ණය කරන ලද සංස්කෘතිකමය වටිනාකම් සහ පාරිසරික පද්ධතීන්ගෙන් සැදුම්ලත් යම් ස්වභාවික පරිසරයක්, රක්ෂිත ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මුලින්ම රක්ෂිත ප්‍රදේශ හඳුනාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය. මේ වන විට අණ පනත්  කීපයක් යටතේම විවිධ කාණ්ඩ වලට අයත් රක්ෂිත ප්‍රදේශ පවතී. 2016 දී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගික කාර්ය සැලසුමෙහි දක්වන ආකාරයට ඉහත සඳහන් කරන ලද රක්ෂිත ප්‍රදේශ ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 35% ක් පමණ වේ.

1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති සංරක්ෂණ වනාන්තර (Conservation Forests) එකසීය තිස්හතරක් (134) මෙන්ම රක්ෂිත වනාන්තර (Reserve Forests) ප්‍රදේශ පන්සීය විසි හතරක් (524) වර්ෂ 2016 වන විට පැවති දත්ත අනුව රැක බලා ගැනීමේ වගකීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන අතරම වනාන්තර ගම්මාන (Village Forests) ද නම් කර ඇති නමුත් ඒවාගේ සීමා නීර්ණයේ සහ සිතියම් ගත කිරීමේ ගැටලු පවතින බැවින් හඳුනාගැනීමේ වපසරිය පුළුල් කිරීමත් සමඟම මෙම වනාන්තර ප්‍රමාණය තවදුරටත් වර්ධනය විය.

1988 අංක 03 දරන ජාතික උරුම වනභූමි පනත මඟින් සිංහරාජ රක්ෂිතය ජාතික උරුම වනභූමි (National Heritage Wilderness Area) ප්‍රදේශයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නියාමනය වන රක්ෂිත ප්‍රදේශ 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව මේ වන විට දැඩි ස්වභාව රක්ෂිත (Strict Nature Reserves) තුනක් (3), සමුද්‍ර ජාතික වනෝද්‍යාන (Marine National Parks) දෙකක් (2) ඇතුළුව ජාතික වනෝද්‍යාන (National Parks) විසි හයක් (26), ස්වභාව රක්ෂිත (Nature Reserves) හතක්, වන කොරිඩෝ (Jungle Corridor) එකක් (1), අලි කළමනාකරණ රක්ෂිත (Managed Elephant Reserves) එකක් (1) සහ අභයභූමි (Sanctuaries) හැට එකක් (61) ප්‍රකාශයට පත්කර ඇත. (සිතියම් අංක 01). තවද පනත මඟින් සරණාගත (Refugee Zone) කලාප සහ ස්වාරක්ෂක කලාප (Buffer Zone) නම් කිරීමේ බලතල ද අමාත්‍යවරයා හට පවරා ඇත.

(සිතියම් අංක 01 – උපුටා ගැනීම: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව)

ඊට අමතරව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් පාරිසරික රක්ෂිත ප්‍රදේශ (Environmetnal Protection Areas) නමයක් (9) ප්‍රකාශයට පත්කර ඇත (සිතියම් අංක 02). එම ප්‍රදේශවල පාරිසරික පනතට පටහැනි කිසියම් ක්‍රියාකාරමක් හෝ ව්‍යාපෘතියක් නීති විරෝධී වන අතර මධ්‍යම පරිසර අධිකාරිය එම ප්‍රදේශ නියාමනයට අදාළ ආයතනය වෙයි. එමෙන්ම වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් ද හඳුනාගෙන ඇති රක්ෂිත ප්‍රදේශ තුනක් (3) එම පළාත තුළ පවතී.

(සිතියම් අංක 2- උපුටා ගැනීම: මධ්‍යම පරිසර අධිකාරිය)

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතේ ප්‍රතිපාදන අනුව සුවිශේෂී කළමනාකරණ ප්‍රදේශ (Special Management Areas) පහළොවක් (15) වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇත. 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ රක්ෂිත ප්‍රදේශ ක්‍රමවේද දෙකක් යටතේ ප්‍රකාශයට පත්කළ හැක. එනම් ධීවර කළමනාකරණ ප්‍රදේශ (Fisheries Management Areas) (තිරසාර කළමණාකරණය අවශ්‍ය ප්‍රදේශ සඳහා) සහ ධීවර රක්ෂිත (Fisheries Reserve) (යම්කිසි සුවිශේෂ සම්පත් රැකගැනීමේ අරමුණින් ක්‍රියාකාරකම් සීමා කළයුතු ප්‍රදේශ සඳහා) ප්‍රදේශයි. ඉහත සඳහන් විවිධ පනත් මඟින් නම් කරන ලද රක්ෂිත ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ එම ප්‍රදේශයන්හි සිදු කළ හැකි ක්‍රියාකාරකම් එම රක්ෂිතයේ ස්වභාවය මත සීමා වන අතර එසේ කරනු ලබන සෑම ක්‍රියාකාරකමක්ම අදාළ අවසර ලබාගෙන සිදු කළ යුතු වේ.

ස්වභාවික පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීම සඳහා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර එම ප්‍රදේශ මේ වන විට විවිධ තර්ජන වලට මුහුණ දී ඇත.

රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන කෘෂිකාර්මික සහ වෙනත් සංවර්ධන ක්‍රියාකාරකම් හා අයතු ලෙස රක්ෂිත ප්‍රදේශ අල්ලා ගැනීම (Developmental Activities and Encroachments)

අද වනවිට ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ මුහුණ පා ඇති ප්‍රධානතම තර්ජනයක් වනුයේ නිසි පාරිසරික තත්ත්ව ඇගයීමකින් තොරව සහ නිසි පියවර අනුගමනය නොකරමින් රක්ෂික ප්‍රදේශයන්හි ස්වාරක්ෂක කලාප තුළ සහ ඇතැම් විට රක්ෂිත ප්‍රදේශ තුළ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සහ කෘෂිකාර්මික කටයුතුයි.

මෙහිදී රජය විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් ද මූලික තැනක් ගනු ලබයි. නිදසුනක් ලෙස ලංකාවේ පිහිටි දැඩි ස්වභාව රක්ෂිත තුන අතරින් මධ්‍යම කඳුකරයේ පිහිටි එකම දැඩි ස්වභාව රක්ෂිතය වන හක්ගල රක්ෂිතය තුළ රජය විසින් ජනතාවට ඉඩම් ලබාදීම මෙන්ම රජය විසින් ගොවිපොළවල් ඇති කර ඒවා පුද්ගලික අංශය වෙත පැවරීම දැක්විය හැකිය.

එමෙන්ම පසුගිය කාලයේ මාධ්‍ය තුළින් දැඩි කතාබහට ලක් වූ විල්පත්තු වනෝද්‍යානයේ පරිවාර වනාන්තර පද්ධතියේ කොටසක් විනාශ කරමින් එවකට රජයේ ඇමතිවරයෙකුගේ මූලිකත්වය ඇතිව සිදු වූ ඉඩම් අල්ලා ගැනීම සහ ජනතාව පදිංචිවීම තවත් එක නිදසුනකි.

එමෙන්ම වෙරළබඩ ප්‍රදේශයන්හි විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ස්ථාන ආශ්‍රිතව නිවාඩු නිකේතන සහ වෙනත් ඉදිකිරීම් වලදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දක්වා ඇති නිර්ණායක උල්ලංඝණය කර ඇති අවස්ථා රාශියකි.

එවැනි කටයුතු වලදී බොහෝවිට දේශපාලන අතපෙවීම් හරහා එම නීති විරෝධී ක්‍රියා සාධාරනීකරණය කිරීමට මෙන්ම එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැළක්වීමට දරන උත්සාහයන්ද ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ කෙරෙහි පවතින තර්ජන ඉහළ යාමට හේතු වී ඇත.

එමෙන්ම හක්ගල ඇතුළු බොහෝ රක්ෂිත මායිම්වල සහ ජනතාව විසින් නීති විරෝධී ලෙස මෙන්ම පරිසරයට හානිදායක අයුරින් කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම රක්ෂිත ප්‍රදේශයන්හි සුරක්ෂිතතාවයට ඉතා හානිදායක වේ.

රක්ෂිත තුළ සිදුකරන නීති විරෝධී මානව ක්‍රියාකාරකම් (Illegal Human Activities)

රක්ෂිත ප්‍රදේශ තුළට නීති විරෝධීව ඇතුළු වී ගස් කැපීම, සතුන් දඩයම් කිරීම සහ ශාක හා සත්ත්ව ජාවාරමේ නිරතවීම සහ ඛණිජ ද්‍රව්‍ය කැනීම; ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශවලට මානව ක්‍රියාකාරකම් නිසා ඇති වී තිබෙන තර්ජන අතර මුල් තැනක් ගනු ලබයි.

පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාස (Environmental Pollution and Climate Change)

සමස්ත ලෝකයම අද මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ පරිසර දූෂණය සහ කාබන් විමෝචනය ඉහළ යාම තුළින් උද්ගත වී ඇති දේශගුණික විපර්යාසයි. මේ නිසා සංවේදී පරිසර පද්ධතීන්හි සිටින ජීවීන්ගේ පැවැත්මට තර්ජන මතුව ඇති අතර ඒ නිසාම සංවේදී පරිසර පද්ධතීන්හි සිටින ජීවීන්ගේ පැවැත්මට තර්ජන මතුව ඇති අතර ඒ නිසාම ඇතැම් ජීවීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව අඩු වී ඇත. පරිසර පද්ධතියක් යනු සෑම විටම එකිනෙකා හා බැඳී ඇති දාමයක ක්‍රියාකාරිත්වයක් වන අතර එහි පුරුක් ලිහිල් වීම සමස්ත පද්ධතියේම ක්‍රියාවලිය අඩපණ කිරීමට හේතු වේ.

නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම (Poor Management)

හුදෙක් රක්ෂිත ප්‍රදේශ හඳුනාගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම ප්‍රදේශ නිසියාකාරව සංරක්ෂණය සහ කළමනාකරණය කිරීම ද ඉතාම වැදගත් වේ. මෙහිදී රක්ෂිත මායිම් නිසි පරිදි හඳුනාගෙන වෙන් කිරීම සහ පවත්වාගෙන යාම මෙන්ම ඇති සංවේදී රක්ෂිත ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වාරක්ෂක කලාප ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය වේ.

ඊට අමතරව ඇතැම් රක්ෂිත ප්‍රදේශ හඳුනාගෙන තිබුණ ද ඒවායේ යම් යම් ක්‍රියාකාරකම් සඳහා අවසර ලැබී තිබීම හේතුවෙන් එම අවසරයන් අවභාවිතා කිරීම සහ අවසර ලබාදීමේ ක්‍රියාවලිය අවභාවිතයට ලක්වීම තුළ එම ප්‍රදේශවල පවත්නා පාරිසරික වැදගත්කම ක්‍රමයෙන් හීන වීම දැකගත හැකිය.

එමෙන්ම සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා අදාළ ආයතන වලට අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණය සහ මෙවලම් මෙන්ම නිසි දැනුම ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලීමේ දී තවදුරටත් පුළුල් කළ යුතු වේ.

එමෙන්ම අදාළ නිලධාරීන්ට සිදුවන දේශපාලනික බලපෑම් ඉතා ඉහළ මට්ටමක පවතින අතරම විශේෂයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම රාජකාරී ඉටුකිරීමේදී ජාවාරම්කරුවන්ගෙන් එල්ලවන ජිවීත තර්ජන වලට නිරන්තරයෙන් මුහුණ දෙනු ලබයි. මෙවැනි ප්‍රායෝගිකගැටලු සඳහා විසඳුම් නොලැබීම තුළ එම නිලධාරීන්ගෙන් රක්ෂිත ප්‍රදේශ සංරක්ෂණය සඳහා උපරිම දායකත්වය ලබා ගැනීම අසීරු වීමේ බරපතල අවධානමක් පවතී.

රක්ෂිත ප්‍රදේශ අතර මනා සම්බන්ධතාවයක් නොමැති වීම (Lack of Connectivity between protected areas)

පරිසර පද්ධතියක් සෑම අවස්ථාවකම විවිධ ශාක සහ සත්ත්වයන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වයක් මත රඳා පවතී. ඒ අනුව ඇතැම් සතුන්ගේ සංචරණ රටාවන් එක් රක්ෂිත භූමියකට සීමා නොවේ. එබැවින් රක්ෂිත ප්‍රදේශ හඳුනාගැනීමේදී ඒ පිළිබඳව අවධානයට ලක්කළ යුතු අතර එසේ නොමැති වීම තුළ එම සතුන් මෙන්ම මිනිස් ජිවීත ද අවධානමකට ලක් වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ සළකා බලන විට ඔවුන් විශාල වපසරියක සංචරණය කරන අතර ඇතැම් විට රක්ෂිත ප්‍රදේශ කිහිපයක් හරහා ගමන් කරනු ලබයි. මෙහෙදී එම රක්ෂිත අතර මනා සම්බන්ධතාවයක් නොමැතිවීම තුළ වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඉහළ යෑමට හේතු වේ.

පරිසරයේ සමතුලිතතාවය සමස්ත පරිසර පද්ධතියේම පැවැත්මට අතිශයින් වැදගත්වන නිසා රක්ෂිත ප්‍රදේශ ලෙස සංරක්ෂණය කළ යුතු ජෛව පද්ධතීන් හඳුනාගැනීම මෙන්ම ඒවා නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම සහ සංරක්ෂණය කිරීම මිනිසාගේ පමණක් නොව සමස්ත මිහිතලයෙහිම ජීවයේ රඳා පැවැත්ම උදෙසා අතිශය වැදගත් වනු ඇත.

No comments yet.

Leave a comment

Your email address will not be published.