චුන්නාකම් නඩුකරය (රවින්ද්‍ර ගුණවර්ධන කාරියවසම් එ. මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් අය)

IN PARTNERSHIP WITH TAF Logo - Black

කර්තෘ: කාංචනා ෂෙහානි

Image Credits: CEB

උධෘතය: මෑත කාලීන ඉතිහාසයේ තීරණය වූ පාරිසරික වශයෙන් වැදගත් මහජන අර්ථසාධක  නඩුකරයක් ලෙසට චුන්නාකම් නඩුව හැඳින්විය හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පුළුල් ලෙස අර්ථ නිරූපනය කරමින් ව්‍යවස්ථාපිත අධිකාරීන් විසින් රාජ්‍යයේ ස්වභාවික සම්පත් මහජනතාව වෙනුවෙන් භාරයක් ලෙස ආරක්ෂා කොට සුරක්ෂිත කිරීමේ වගකීම පැහැදිලි කර දුන් විජයග්‍රාහී නඩු තීන්දුවකි.

 

සිද්ධිමය කරුණු

1958 සිට චුන්නාකම් ප්‍රදේශයේ සහ යාපනය අර්ධද්වීපයේ ප්‍රදේශවාසීන්ගේ විදුලිබල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය කෙරුණේ රජයට අයත් විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලැබූ චුන්නාකම් බලාගාරය මඟින් වන අතර, යුධ සමයේදී මෙම  චුන්නාකම් බලාගාරයේ ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වීම නිසා එමඟින් නිපදවන විදුලි බලය සැලකිය යුතු ප්‍රමාණයක් පහත බැසීය.

මේ හේතුවෙන් වෙනත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් දෙදෙනෙකු විසින් කරන ලද ඉල්ලීම් අනුව ඔවුන් විසින් වෙන වෙනම හිමිකාරීත්වය දරන තවත් තාප විදුලි බලාගාරයන් ද්විත්වයක්  යාපනය අර්ධද්වීපයේ සහ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටුවනු ලැබීය. කෙසේ වුවද, මෙම තාප බලාගාර තුනෙන් ලබාගත් ඒකාබද්ධ විදුලි නිෂ්පාදනය යුද්ධ කාලයේදී යාපනය අර්ධද්වීපයේ පදිංචිකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවුණි. එම නිසා, Northern Power නම් සමාගම, විදුලිබල උත්පාදනය හා සැපයුම් ව්‍යාපාර කටයතු කරගෙන යාම සඳහා 2007 වසරේදී සංස්ථාගත කොට, ලංකා විදුලිබල මණ්ඩලය සතු චුන්නාකම් ප්‍රදේශයේ භූමියක එහි තාප බලාගාරය එවකටත් පැවති චුන්නාකම් බලාගාරයට ඉතා සමීපව ඉදිකරන ලදී. තවද, මෙහි උත්පාදන යන්ත්‍ර කට්ටල ක්‍රියාත්මක කිරීම සඳහා උපයෝගී කරගනු ලැබුවේ බැර ඉන්ධන/ඩීසල් වේ. 

නමුත් යුද්ධය අවසාන වීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය විසින් චුන්නාකම් විදුලි බලාගාරය 2012 වසරේ අග භාගයේදී නවතා දමා, බැර ඉන්ධන භාවිතා කරනු ලබන ‘උතුරු ජනනි’ නම් නව තාප බලාගාරය පිහිටුවා  2013 වසරේ සිට එමඟින් විදුලි බලය උත්පාදනය කරන ලදී.

ඒ අනුව මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද්දේ, Northern Power සමාගම විසින් චුන්නාකම් ප්‍රදේශයේ ඉදිකරන ලද චුන්නාකම් තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා බැර ඉන්ධන යොදාගැනීම නිසා ඉන් නිකුත් කරන අප-ඛනිජ තෙල් පරිසරයට හා ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලය මිනිස් ප්‍රයෝජනයට නුසුදුසු බවට පත් කරමින් සිදුවන විශාල පරිසර දුෂණයට එරෙහිවයි. එසේම, චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයේ  මෙම තාප බලාගාරයේ සිට කි.මී 1.5ක ප්‍රදේශයක් තුළ ‘අවසරලත් මට්ටමට වඩා ඉහල මට්ටමකින්’ තෙල් අඩංගු වන බවද දක්වා ඇත.

මීට අමතරව, 2007 වසරේදී චුන්නකම්හි තාප බලාගාරයක් ආරම්භ කිරීමට පෙර මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් (IEER) හෝ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් (EIAR) හෝ සකස් කර නොමැත.

ඒ අනුව අදාළ අධිකාරීන් විසින් මහජනතාවගේ උපරිම යහපත උදෙසා  Northern Power සමාගමට එරෙහිව නීතිය බලාත්මක කිරීමට අපොහොසත් වීමත්, එම සමාගම භූගත ජලය දුෂණය කිරීම වැළක්වීමට නොහැකිවීමත් හේතුවෙන් චුන්නාකම් ප්‍රදේශවාසීන්ගේ 12(1) ව්‍යවස්ථාව මඟින් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩ වීම මෙම නඩුවේ නඩු නිමිත්ත බවට පත් වී ඇත.

 

තීරණය කළ යුතු වූ ගැටළු

  • තාප බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් IEER හෝ EIAR ලබාගැනීම සඳහා අදාළ අධිකාරීන් හට ව්‍යවස්ථාපිත වගකීමක් තිබේද සහ එය පැහැර හැර තිබේද?
  • EPL නොමැතිව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට නීතියෙන් බාධාවක් තිබේද?
  • තාප බලාගාරයෙන් බැහැර කෙරෙන අපජලය හා ඛනිජ තෙල් අපද්‍රව්‍ය සහ තෙල් දුෂණය, ප්‍රදේශයේ භූගත ජලය හා පස දුෂණය වීමටත් හේතු වී තිබේද?
  • ඉහත ගැටළු ත්‍රිත්වයට අදාළව අධිකාරීන් විසින් තම ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීමට නොහැකිවීම මත චුන්නාකම් ප්‍රදේශවාසීන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් කඩ වී තිබේද?
  • මෙම තාප බලාගාරය ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් තෙල් දුෂණය වීම හා ප්‍රදේශයේ භූගත ජලය හා පස දුෂණය වීම තවදුරටත් සිදු වේවිද?
Image Credits: Colombo Telegraph

නඩු තීන්දුව

  • 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 ආආ (1) වගන්තිය දක්වන ආකාරයට යම් ‘නියමිත ව්‍යාපෘතියක්’ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදීමට පෙර ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය විසින් ව්‍යාපෘති යෝජක හට IEER හෝ EIAR ඉදිරිපත් කළ යුතු බවට නියම කළ හැක. එමෙන්ම මෙම වගන්තිය තවදුරටත් දක්වන්නේ, අදාළ නියමිත ව්‍යපෘතිය සඳහා කුමන වාර්තාව අවශ්‍ය වන්නේද යන්න තීරණය කිරීමේ අභිමත බලය ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය සතු වන බවයි. 

පනතේ 33 වගන්තියේ දැක්වෙන අර්ථ නිරුපණයට අනුව නියමිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කරනු ලබන IEER මඟින් ව්‍යාපෘතිය හේතුවෙන් සිදු විය හැකි බලපෑම් ඇතුළත් පොදු පාරිසරික පසුබිම සම්බන්ධ විස්තර දැක්විය යුතු අතර, EIAR පිළියෙල කිරීම මඟින් විය හැකි හානි සහ ඒ සඳහා විකල්ප ක්‍රම හෝ අපේක්ෂිත හානි අවම කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් ද අඩංගු වන සවිස්තරාත්මක විස්තරයක් ලබාදිය හැකි වේ. 

ඒ අනුව, ජාතික පාරිසරික පනත යටතේ නිකුත් කරනු ලැබූ 1993 ජුනි 24 දිනැති, අංක 772/22 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ ‘නියමිත ව්‍යාපෘති’ පිළිබඳව ලැයිස්තුගත කර තිබෙන අතර චුන්නාකම් විදුලි බලාගාරය පිහිටුවනු ලැබූ අවධියේදී එනම් 2007 වසරේදී එහි විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 15 ක් වූ බැවින් එම ව්‍යාපෘතිය නියමිත ව්‍යාපෘතියක් සේ නොසැලකීය. නමුත් පසුකාලීනව එහි ධාරිතාව මෙගාවොට් 25 ට වඩා ඉහල නැංවීමත් සමඟ මෙම විදුලි බලාගාරය ‘නියමිත ව්‍යාපෘති’ යටතේ ලැයිස්තුගත ව්‍යාපෘතියක් බවට පත් විය. ඒ හේතුවෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය සඳහා IEER හෝ EIAR අවශ්‍ය වන අතර ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය එම වාර්තාව ඇගයීමට ලක් කළ යුතුය. 

කෙසේ වුවද, චුන්නාකම් විදුලි බලාගාරය සම්බන්ධයෙන් IEER හෝ EIAR සකස් කිරීමට ව්‍යාපෘති යෝජක අපොහොසත් වී ඇති අතර, ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය සහ  ආයෝජන මණ්ඩලය ඊට එරෙහිව කටයතු කිරීමට අපොහොසත් වීම තුළින් තම ව්‍යවස්ථාපිත යුතුකම් පැහැර හැර ඇත. 

මෙහිදී බුලංකුලම එ. කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය නඩුවේ අමරසිංහ විනිසුරුතුමා සිදු කළ ප්‍රකාශය පෙන්වා දෙමින්  පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ වැදගත්කම පෙන්වා දෙන ලදී. 

  • ජාතික පාරිසරික පනත යටතේ නිකුත් කරන ලද 2008 ජනවාරි 25 දිනැති අංක 1533/16 අති විශේෂ ගැසට් නිවේදනය පරිදි ‘නියමිත ක්‍රියාකාරම්’ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් (Environmental Protection License) ලබාගත යුතු නමුත් මෙම ව්‍යාපෘතිය තම වාණිජ අරමුණු වෙනුවෙන් බලාගාරයේ කටයතු සැලකිය යුතු කාලසීමාවක් බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇත.

ඒ අනුව පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය සහ  ආයෝජන මණ්ඩලය කටයුතු කර නොමැත.

  • ව්‍යවස්ථාපිත අධිකාරීන් විසින් තම යුතුකම් ඉටු කිරීම සම්බන්ධයෙන් ‘මහජන භාරය පිලිබඳ සිද්ධාන්තය’ (Public Trust Doctrine) පිළිගත්  වැදගත් නඩු තීරණයක් වන සුගතපාල මෙන්ඩිස් එ. චන්ද්‍රිකා කුමාරතුංග පෙන්වා දෙමින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා මහජනතාවගේ භාරකරුවන් වශයෙන් රජයට සහ එහි ආයතනවලට යුතුකම් පවරා ඇති ආකාරය පිළිබඳව දක්වන ලදී.

ව්‍යවස්ථාපිත අධිකාරීන් විසින් නිසි ලෙස එම යුතුකම් ඉටුකිරීමට අපොහොසත් වීම, මහජන භාරය කඩකිරීමකි.

  • 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මුලධර්ම සහ මූලික යුතුකම් (Directive Principles of State Policy) හි 27(14) ව්‍යවස්ථාව අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට, වැඩි දියුණු කිරීම සහ 28 ව්‍යවස්ථාව මඟින් තහවුරු කර තිබෙන ස්වභාවධර්මය සහ ස්වභාවික සම්පත් රැකගැනීමට ජනතාවට ඇති යුතුකම් පෙන්වා දෙන ලදී.
  • මෙම නඩුව හරහා ස්ථාපනය කළ වැදගත්  මූලික අයිතිවාසිකමක් ලෙසට ‘පිරිසිදු පරිසරයකට ඇති අයිතිය’ හඳුනාගත හැක. එහිදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින්  එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කෙරෙන  ජීවත්වීමට ඇති අයිතියේම කොටසක් ලෙසට පිරිසිදු පරිසරයකට ඇති අයිතිය  ND Jayal vs. Union of India යන නඩු තීන්දුව හරහා පෙන්වා දෙන ලදී. 
  • එමෙන්ම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සහ 27(14) ව්‍යවස්ථාව එකට ගත් කල පරිසරය දුෂණය වීමට හේතු වන හෝ අවසර දෙන නීති විරෝධී, අත්තනෝමතික සහ අසාධාරණ විධායක හෝ පරිපාලන ක්‍රියා හෝ අතපසුවීම්වලීන් තොරවීමට සියළු පුරවැසියන්ට මූලික අයිතිවාසිකමක් ඇත.

ඒ අනුව ‘නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතුය’ යන 12 (1) ව්‍යවස්ථාව මඟින් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම, ජාතික පාරිසරික පනතේ විධිවිධාන මඟින් ද  ආරක්ෂා කරනු ලබන අතර ව්‍යවස්ථාපිත අධිකාරීන් විසින් චුන්නාකම් ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් එම විධිවිධාන යටතේ වූ යුතුකම් අත්තනෝමතිකව හෝ අසාධාරණව පැහැර හැරීම හේතුවෙන් ඔවුනට නීතිය ඉදිරියේ සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම උල්ලංඝණය වී ඇත.

  • එසේම 27(2) (ඇ) ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම යටතේ රජය විසින් සියළු පුරවැසියන් සඳහා  ප්‍රමාණවත් ජීවන මට්ටමක් අත්කර දිය යුතු අතර එමඟින් මහජනතාවට පිරිසිදු ජලය සඳහා ඇති අයිතිය හඳුනාගත හැක. ඒ අනුව, චුන්නාකම් ප්‍රදේශවාසීන්ට භූගත ජලය දුෂණය වීමට පෙර පිරිසිදු ජලයට ප්‍රවේශවීමට හැකියාව තිබු අතර බලාගාරය හේතුවෙන් එම භූගත ජලය දුෂණය වීම නිසා රාජ්‍යයේ අනෙකුත් පුරවැසියන් හා සැසඳීමේදී අසමාන සැලකීමකට ලක් වී ඇත.
  • එසේ හෙයින්, මෙහිදී පෙත්සම්කරුගේ සහ චුන්නාකම් ප්‍රදේශවාසීන්ගේ 12 (1) ව්‍යවස්ථාව මඟින් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කරන ලදී. එමෙන්ම නිසිපරිදි නිකුත් කරනු ලැබූ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යටතේ සහ අවට පරිසරය දුෂණය නොවීමට අදාළ පියවර ගැනීමෙන් පසු චුන්නාකම් විදුලි බලාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙන ලදී.  

එහිදී ‘දුෂකකාරකයා ගෙවිය යුතුය’ (Polluter Pays Principle) යන මූලික පාරිසරික සංකල්පය මත පදනම්ව සිදු වූ අලාභ හානි සඳහා  අදාළ වගඋත්තරකාර සමාගම විසින් රුපියල් මිලියන 20ක වන්දි මුදලක් චුන්නාකම් ප්‍රදේශවාසීන්හට ගෙවිය යුතු බවට තීරණය කරන ලදී.

No comments yet.

Leave a comment

Your email address will not be published.