පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා නීතිය

IN PARTNERSHIP WITH TAF Logo - Black

කර්තෘ:  කාංචනා ෂෙහානි

උධෘතය: සංවර්ධන ක්‍රියාවලිය මූලික පරිසර සංකල්පයන්ට අනුගතව, ස්වභාවික පරිසරය ආරක්ෂාවන පරිදි ධරණීයව සිදුකිරීමට රාජ්‍යයට වගකීමක් ඇත.

Image Credits: Rajiv Perera on Unsplash

ස්වභාවික සම්පතින් පොහොසත් ශ්‍රී ලංකාව, ආසියාතික කලාපය තුළ ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියනු ලබන රාජ්‍යයක් බව අතීතයේ සිට ඉතා ප්‍රචලිත කරුණකි. කෙසේ වුවද, දැනට දශක කිහිපයකට පෙර සිට සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතීන් මඟින් ස්වභාවික පරිසර පද්ධතීන් වෙත සිදු කරනු ලබන බලපෑම සුළුපටු නොවේ. 1992 පරිසරය හා සංවර්ධනය පිලිබඳ රියෝ සම්මුතියේ 4 වන ව්‍යවස්ථාව මඟින් දක්වනුයේ, ‘පරිසරය ආරක්ෂා කරගැනීම සංවර්ධනයේම කොටසක් බවත්, එය හුදෙකලාව සැලකිය නොහැකි බවත්’ය. එසේ හෙයින්, සංවර්ධන ක්‍රියාවලිය මූලික පරිසර සංකල්පයන්ට අනුගතව, ස්වභාවික පරිසරය  ආරක්ෂාවන පරිදි ධරණීයව සිදුකිරීමට රාජ්‍යයට වගකීමක් ඇත.

මේ අනුව, සංවර්ධන ව්‍යපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එමඟින් පරිසරයට සිදුවිය හැකි බලපෑමත්, එය අවම කරගත හැකි ආකාරයත් පිළිබඳව අවධානය යොමු කරමින් පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියක්  (Assessment of Environmental Impact/ AEI/ EIA) දියත් කිරීම වැදගත් වේ. මෙම ක්‍රියාවලිය ‘ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙරාතුව එමඟින් සිදුවන පාරිසරික, සමාජයීය හා ආර්ථික බලපෑම් හඳුනාගත හැකි මෙවලමක්’ ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් අර්ථ දක්වා ඇත. එසේ හෙයින් රාජ්‍යයක් තුළ AEI ක්‍රියාවලිය නියාමනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීමක් වන අතර, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  27(14) ව්‍යවස්ථාව මඟින්ද ‘ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට වැඩි දියුණු කළ යුතුය’ යන්න රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම මූලධර්ම යටතේ දක්වා ඇත.

ශ්‍රී ලංකාව තුළ AEI ක්‍රියාවලිය සම්බන්ධ නෛතික තත්ත්වය ප්‍රධාන ව්‍යවස්ථා 4 ක් තුළ ගැබ්ව ඇත.

පළමුවරට ශ්‍රී ලංකාව තුළ AEI ක්‍රියාවලිය සම්බන්ධයෙන් නෛතික රාමුවක් නිර්මාණය වුයේ 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනත මඟින් වේ. පසුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙහි සංශෝධන හරහා සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භයට පූර්වයෙන් පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් (Environmental Impact Assessment Report/EIAR) සකස් කිරීම අනිවාර්ය කරමින් ප්‍රතිපාදන සකස් කරන ලදී. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අධිකාරීන් හා මාර්ගෝපදේශ නියාමනය කරන ප්‍රධාන ව්‍යවස්ථාව ලෙසට ජාතික පාරිසරික පනත හඳුන්වා දිය හැක.

 

  • 1980 අංක 47 දරන ජාතික පාරිසරික (සංශෝධිත) පනත

මෙහි 23අඅ වගන්තිය යටතේ දක්වා ඇති EIAR ඉදිරිපත් කළ යුතු නියමිත ව්‍යාපෘතීන් පිළිබඳව 1999/11/06 දිනැති අංක 1104/22  සහ  1999/11/29 දිනැති අංක 1108/1 මඟින් සංශෝධිත 1993/6/24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

එමෙන්ම 23අඅ වගන්තියේ සඳහන් ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන (PAA) පිළිබඳව 2004/12/29 දිනැති අංක 1373/6 ගැසට් නිවේදනය මඟින් සංශෝධිත 1995/02/23 දිනැති අංක 859/14 දරන ගැසට් නිවේදනයේ  දක්වා ඇත. මෙම ආයතන විසින් ව්‍යාපෘතීන් අනුමත කිරීමේදී  අංක 1 අ :PAA සදහා AEI ක්‍රියාවලිය  ක්‍රියාත්මක කිරීමට අදාල මාර්ගෝපදේශ – 2006 අනුගමනය කළ යුතු වේ.

අංක 2 අ: පාරිසරික විෂයපථය සඳහා AEI ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ  මඟින් AEI ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු පියවරයන් දක්වා ඇත. එනම්,

AEI ක්‍රියාවලිය පිලිබඳ පනතේ නෛතික ප්‍රතිපාදන:

  • 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධිත) ආඥාපනත
  • 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනත

මේ සම්බන්ධ කාර්යපටිපාටිය පනතේ III කොටසේ දක්වා ඇත. 

වෙරළ කලාපය තුළ සිදුකරනු ලබන සියළුම සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විවිධ කොන්දේසි සළකා බැලීමෙන් පසුව ලබාදෙන අවසරපතක් ව්‍යපෘති යෝජක විසින් ලබාගත යුතුය. අවසරපත නිකුත් කිරීමට පෙර යෝජකට IEER හෝ EIAR ඉදිරිපත් කරන ලෙස නියම කළ හැක. IEER පමණක් ප්‍රමාණවත් වන විටකදී, දින 30ක් ඇතුළත ඊට අදහස් දැක්වීම සඳහා උපදේශන කමිටුවට යොමු කරන අතර EIAR අවශ්‍ය වන විටකදී, දින 60ක් ඇතුළත අදහස් දැක්වීමට කමිටුව වෙතත්, මහජන අදහස්  යොමු කිරීම සඳහා ගැසට් පත්‍රයේද පළ කරනු ලබයි. එහිදී දින 30ක් ඇතුළත මහජන අදහස් ලබාදිය  යුතුය. සියළු අදහස් ලැබී දින 60ක් ඇතුළත ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කළ යුතු වේ.

ඒ අනුව කුමන  ව්‍යාපෘතියක් AEI ක්‍රියාවලිය අනුගමනය කළ යුතුද යන්න තීරණය කිරීමේ අභිමතය අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු වන  අතර ඊට අදාළ නිර්ණායක පනතෙහි දක්වා නොමැත.

 

  • 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය

මධ්‍යම පරිසර අධිකාරිය යටතේ නියාමනය නොවන, වයඹ පළාත සඳහා  පමණක් බලපැවැත්වෙන ප්‍රඥප්තියක් වන අතර මෙහි AEI ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෙනම නෛතික ප්‍රතිපාදන ඇතුලත් වේ. 

ඕනෑම ආයතනයක් විසින් වයඹ පළාත තුළ සිදුකරනු ලබන නියමිත ව්‍යාපෘතීන් සඳහා අදාළ PAA ගෙන් අනුමැතිය ලබාගත යුතු වේ (43 වගන්තිය). එහිදී PAA විසින් ඒ සදහා IEER හෝ EIAR ලබාදෙන ලෙසට ව්‍යාපෘති යෝජකට නියම කළ හැකි  අතර ඊට අදාළව දැන්වීමක් ගැසට් පත්‍රයේ සහ අනතුරුව පුවත්පත්වල පළ කර දින 30ක් ඇතුළත මහජනතාවට තම අදහස් PAA වෙත ඉදිරිපත් කළ හැක. ව්‍යාපෘතිය අනුමත වූ පසුවද ඒ පිළිබඳව පුවත්පත්වල පළ කළ යුතු වේ ( 44 වගන්තිය).

ව්‍යාපෘතිය අනුමත කිරීමේ ක්‍රියාපටිපාටිය PAA විසින් තීරණය කළ යුතු (45 වගන්තිය) අතර අනුමැතිය ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව අමාත්‍යංශ ලේකම් වෙත අභියාචනයක් යොමු කිරීමට යෝජකට හැක. එහිදී ලේකම් ලබාදෙන තීරණය අවසානාත්මක වන අතර ඒ සඳහා උපදේශක කමිටුවේ නිරීක්ෂණ ලබාගත හැක (46 වගන්තිය).

යම් හෙයකින්, අනුමැතිය ලැබීමෙන් පසුව ව්‍යාපෘතිය වෙනස් කරනවානම් හෝ නවතා දමනවානම්, ඒ පිළිබඳව PAA දැනුවත් කළ යුතු වේ (47 වගන්තිය). එසේම PAA විසින් අනුමත කරන ලද ව්‍යාපෘතීන් පිළිබඳව පළාත් පාලන අධිකාරයට වාර්තා කළ යුතු වේ (48 වගන්තිය).

 

සාරාංශය

වර්තමානය වන විට AEI ක්‍රියාවලිය සම්බන්ධ නෛතික තත්වය සැලකීමේදී යාවත්කාලීන වූ යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් ඇතිව තිබේ. විශේෂයෙන්ම මුළු ක්‍රියාවලිය පුරාම මහජන සහභාගිත්වය ඉතා වැදගත් අංගයක් වන නමුත් පවත්නා නීති තුළින් නිසියාකාරව එය සිදුකිරීමට අපොහොසත් වි ඇත. එසේම ඇතැම් අධිකාරීන් වෙත ලබාදී ඇති අභිමතානුසාරී බලයත්, පනත්වල වපසරින් අතර ඝට්ටනයත් හේතුවෙන් ඇතැම් ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයන් නිර්මාණය වී තිබේ. කෙසේ වුවද, සමස්තයක් ලෙස AEI ක්‍රියාවලිය මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම ප්‍රධාන පාරිසරික සංකල්පයන් රාජ්‍යයක් තුළ තහවුරු කිරිමට ඉවහල් වන මෙවලමක් ලෙසට හඳුන්වා දිය හැක.


ආශ්‍රිත පරිශීලන

  • 1992 පරිසරය හා සංවර්ධනය පිලිබඳ රියෝ සම්මුතිය

(https://www.un.org/en/development/desa/population/migration/generalassembly/docs/globalcompact/A_CONF.151_26_Vol.I_Declaration.pdf)

  • Central Environmental AuthorityFrequently Asked Questions about EIA

(http://www.cea.lk/web/en/faq )

  • Environmental Foundation (Guarantee) Ltd.Relevant Laws, Regulations and Guidelines Regarding IEE/EIAs      

(https://efl.lk/relevant-laws-regulations-and-guidelines/#1622818823753-a879d955-9b9b)

No comments yet.

Leave a comment

Your email address will not be published.