තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ (EIA) වාර්තාව

IN PARTNERSHIP WITH TAF Logo - Black

කර්තෘ: කුමුදිකා පෙරේරා

උධෘතය: තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය, සහ වගකිවයුතුභාවය  ළඟා කරගත හැකිය.

මුල් අයිතිය: Daily Mirror

මහජන අදහස් විමසීම සහ මහජන සහභාගීත්වය, පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ (EIA) වාර්තා ක්‍රියා පටිපාටියේ වැදගත් අංගයක් උසුලන බව මින් පෙර සාකච්ඡා කරන ලදී.  එමෙන්ම මහජනතාවට පරිශීලනය කළ හැකි තොරතුරු ද මහජන සහභාගීත්වය ඔප්නැංවීමට අවස්ථාව සලසයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය, 14A ව්‍යවස්ථාව මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මහජනතාවට ලබා දෙන ලදී.   මේ සම්බන්ධයෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTIA 2016)  වැදගත් වේ. තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි  අවස්ථා,  තොරතුරු නිලධාරීන් පත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) පිහිටුවීම යනාදී කරුණු  මෙම පනතෙහි දක්වා ඇත.  

මෙම බ්ලොග් පිටුව EIA ක්‍රියාවලියේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය, සහ වගකිවයුතුභාවය ළඟා කරගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරයි.  තව ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීමේ දී මුහුණ දිය හැකි ගැටළු කිහිපයක් ද ගෙනහැර දක්වයි.

 

මානව හිමිකම් සහ පරිසර යුක්තිය අතර ඇති සම්බන්ධය

මානව හිමිකම් සහ පරිසර යුක්තිය තදින් බැඳී පවතී. සෞඛ්‍යාරක්ෂිත සහ තිරසාර පරිසරයකින් තොර ව මානව හිමිකම් පවතින්නේ නැත.  එසේ ම, මානව හිමිකම්වලින් වියුක්ත වූ තිරසාර පරිසර පාලනයක් ද නො පවතින්නේ ය.

පාරිසරික අයිතිවාසිකම් කොටස් දෙකකින් සමන්විත වේ:  ඒවා නම් substantive rights එනම් හරයාත්මක අයිතිවාසිකම් (මූලික අයිතිවාසිකම්) සහ procedural rights එනම් කාර්ය පටිපාටිමය අයිතිවාසිකම් වේ. 

  • හරයාත්මක අයිතිවාසිකම්: සෞඛ්‍යාරක්ෂිත කාලගුණය, වායුගෝලය, ජලය, සහ අන්තරායකර නොවන පරිසරය, සෞඛ්‍ය සම්පන්න ජෛව පද්ධති කෙරෙහි බලපායි. 
  • කාර්ය පටිපාටිමය අයිතිවාසිකම්: මූලික අයිතිවාසිකම් තුනක් මෙයට ඇතුළත් වේ.  ඒවා නම්, තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතියමහජන සහභාගිත්වයසහ යුක්තිය පසිඳලීමට ප්‍රවේශ වීමට ඇති හැකියාවයි.  1992 වසරේ Rio සම්මුතියේ 10 වන ප්‍රතිපත්තිය මගින් ඉහත සඳහන් කළ මූලික අයිතිවාසිකම් තුන ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ද මුසු වී ඇත.

 

2018 වසරේ දී Framework Principles on Human Rights and the Environment මගින් පරිසරය හා මානව හිමිකම් අතර ඇති සම්බන්ධය හුවා දක්වන කාර්ය පටිපටිපාටිමය අයිතිවාසිකම් කිහිපයක් දක්වා ඇත.          

  • පාරිසරික තොරතුරු දැනගැනීමට  ප්‍රවේශ වීමට ඇති හැකියාව – 07 වන ප්‍රතිපත්තිය
  • මහජන සහභාගිත්වය – 09 වන ප්‍රතිපත්තිය
  • ඵලදායි විසඳුම් ලබා ගැනීමට ඇති හැකියාව – 10 වන ප්‍රතිපත්තිය
  • බලපෑමට ලක්වන ජනතාව වෙනුවෙන් ඇති විශේෂ ප්‍රතිපාදන – 14 වන ප්‍රතිපත්තිය
  • ආදිවාසී ජනතාව වෙනුවෙන් ඇති වගකීම් ඉටු කිරීමට අදාල ප්‍රතිපාදන – 15 වන ප්‍රතිපත්තිය
  • පරිසරය ආරක්ෂා කරන්නන් ආරක්ෂා කිරීමට ඇති හැකියාව – 04 වන ප්‍රතිපත්තිය
  • ඉහත සඳහන් අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රතිපාදන – 05 වන ප්‍රතිපත්තිය

ඉහත සඳහන් කාරණා සලකා බැලීමේදී සුදුසු, සෞඛ්‍යාරක්ෂිත, අයිතිවාසිකම් ආරක්ෂා කරන පරිසරයක් ගොඩනැගීමේ මූලික වගකීම පවතින්නේ රජය කෙරෙහි බව පසක් වේ.

මුල් අයිතිය: RTI.gov.lk

තිරසාර සංවර්ධනය පිලිබඳ ඉලක්ක (Sustainable Development Goals) අංක 16: සාමකාමී තිරසාර සමාජයක් ඇති කිරීම, යුක්තියට ප්‍රවිෂ්ටවීමේ හැකියාව නැංවීම, ඵලදායි විනිවිදභාවයෙන් යුත් ආයතන පිහිටුවීම, සියල්ලන් නියෝජනය කරන තීරණ ගැනීම, තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීම මෙන් ම මහජන සහභාගිත්වය දීයුණු කිරීම අරමුණු කොට ගෙන ඇත.

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමෙහි ස්වභාවය 

කරුණු තුනක් මත පදනම් වී පවතී.

 

  1. නිවැරදි හා සම්පුර්ණ තොරතුරු ලබාදීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමෙහි හරයයි:  එනම් ඕනෑ ම අවස්ථාවක හැකිතාක් දුරට අවශ්‍ය තොරතුරු ලබාදීමට රජය බැදී සිටි.

RTIA 2016 හි 06 වන වගන්තිය මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැකියි.  පුරවැසියෙකු යම් තොරතුරක් ඉල්ලුම් කර ඇති විට එම තොරතුර පනතේ පස්වන වගන්තිය යටතේ ලබා දිය නොහැකි තොරතුරක් වුවත් අදාල තොරතුර කොටස් කළ හැකි නම් ලබා දිය හැකි කොටස පමණක් හෝ ලබා දිය යුතු ය.

 

  1. ක්‍රියාකාරී ලෙස තොරතුරු ලබා දීම:  පුරවැසියෙකු ඉල්ලුම් කරන තුරු පොදු අධිකාරියක් තොරතුරු ලබා නොදී බලා නොසිටිය යුතු ය.

RTIA 2016 හි 09 වන වගන්තියට අනුව ඇමතිවරයෙක් යෝජිත සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව ඔහු සතුව ඇති තොරතුරු එම ව්‍යාපෘතිය ඇරඹීමට මාස 03කට පෙර මහජනතාවගේ පරිශීලනය සඳහා ලබා දිය යුතුය. එකී ව්‍යාපෘතිය හදිසි ව්‍යාපෘතියක් නම් ඊට හේතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට (RTI Commission) ලබාදී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සතියකට පෙර මහජනතාවගේ පරිශීලනයට ලබා දිය යුතු ය.

 

  1. විශ්වාසනීයභාවය තහවුරු කිරීම: ඉල්ලුම් කර ඇති තොරතුරකට අදාල සියලු තොරතුරු ලබාදීම. 

එමෙන්ම අවංකනීතිගරුක මහජන සේවකයින් ආරක්ෂා කිරීම ද මෙම RTI ක්‍රියාදාමයේ එක් මූලික අංගයකි.  එයට හේතුව නම් රාජ්‍ය පරිපාලනයෙහි පවතින වංචාව, දූෂණය හෙළි  කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ විනිවිදභාවය උදෙසා කටයුතු කරන මහජන සේවකයින් ද මෙම ක්‍රියාදාමයට ජීවය සපයන බැවිනි. (මේ සමඟ RTIA 2016 පනතෙහි 40 වන වගන්තිය කියවන්න.)

 

EIA සඳහා RTI ලබා දෙන දායකත්වය

RTIA 2016 පනතේ 03 වන වගන්තියට අනුව 05 වන වගන්තියේ විධිවිධානවලට යටත් ව පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ, හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුට ම තිබිය යුතු ය.

 

  • අර්ථ නිරූපණය

RTIA 2016 පනතේ 43 වන වගන්තිය මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වමින් ‘තොරතුරු,’ ‘පොදු අධිකාරිය,’ ‘පුරවැසියා’ යන වචන අර්ථ දක්වා ඇත. ඒ අනුව පෙනී යන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත, සුවිසල් තොරතුරු  ප්‍රමාණයක් පුරවැසියා මානයේ  තබා ඇති බවයි.  මෙම අයිතිවාසිකම හරහා උපරිම ඵලය  නෙලා ගැනීමට නම් පුරවැසියන්ව මනා ව තම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කළ යුතු ය. තවදුරටත්, තොරතුරු ලබා ගැනීමට ප්‍රවේශ වීම සඳහා ද ඔවුන්ව දිරිගැන්විය යුතු ය.

පනතේ 24 වන වගන්තියේ සිට පුරවැසියෙකු තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් කළ යුතු ආකාරය දක්වා ඇත.  ඒ අනුව තොරතුරු ඉල්ලුම් පත්‍රය ලිඛිත විය යුතුය.  පහත දක්වා ඇති රූප සටහන මෙම ක්‍රියා පටිපාටිය වැඩිදුරටත් පැහැදිලි කරයි.

මුල් අයිතිය: rti.gov.lk
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම, පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තා ක්‍රියා පටිපාටියට අනුකූල වන්නේ කෙසේද?

පෙර සඳහන් කළ පරිදි මහජනතාවට ඵලදායි ලෙස තීරණ ගැනීම සදහා වූ ක්‍රියාවලියේ යෙදිය හැකි වන්නේ ඔවුන්ට පරිපූර්ණ සහ නිවැරදි තොරතුරු පොදු අධිකාරීන් (Public Authorities) මගින් ලැබුණහොත් පමණි.  එසේ බලන කල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සාමාන්‍ය පුරවැසියෙකුට ප්‍රවේශ වී ලබා ගත නොහැකි තොරතුරු ලබා ගැනීමට උපකාරීවන මෙවලමකි. එවිට මහජනතාවට තර්ක විතර්ක කරමින් ලබා ගත් තොරතුරු අධ්‍යයනය කිරීමටත්, ප්‍රතිචාර දැක්වීමටත් අවස්ථාවක් ලැබෙයි. 

කෙටියෙන් කිවහොත් සංශෝධිත 1980 අංක 47 රන ජාතික පාරිසරික පනත යටතේ දක්වා ඇති ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන ද (Project Approving Agencies)  RTIA 2016 හි ඇති ‘පොදු අධිකාරින්’ ගණයට ඇතුලත් වේ.  මින් පැහැදිලි වන්නේ මහජනතාවගේ පරීක්ෂාවට මෙම පොදු අධිකාරීන් ද යටත් වන බවයි. එසේ නම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමින් සන්නද්ධ වූ මහජනතාව යෝජිත සංවර්ධන ව්‍යාපෘතියක් මත අදහස් දක්වන තවත් එක් පාර්ශවයක් නොව, සංවර්ධන කටයුතු සඳහා තීරණ ගැනීමට සහයෝගය දක්වන වැදගත් පාර්ශවයකි.  පොදු අධිකාරීන් වන ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන සමඟ කටයුතු කිරීමට ලැබීමෙන් මහජනතාවට රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය ද ඇති කළ හැකිය. එමෙන්ම රාජ්‍ය ආයතන ද මහජනතාව සමඟ සුහදශීලීව කටයුතු කරනු ඇත. මහජනතාවගේ සහභාගිත්වයෙන් ගනු ලබන තීරණ, සංවර්ධන ව්‍යාපෘතියක වලංගුභාවයට ද තුඩු දෙයි. 

 

 

  • අභියාචනා

 

කෙසේ වෙතත් තොරතුරුවලට ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා පනතේ 05 වන වගන්තියේ දක්වා ඇත. නමුත් වැදගත් ම කරුණ නම් පොදු අධිකාරියක් කුමන හේතුවක් මත තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළත් පනතේ VI වන කොටස යටතේ අභියාචනා ඉදිරිපත් කිරීමට පුරවැසියෙකුට හැකියාව ලබා දී තිබීමයි.

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටළු 

COVID-19 ගෝලීය වසංගතයක් සමඟ දියුණු වෙමින් පවතින රටවල් ආදායම් හිඟවීමෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇත.  ශ්‍රී ලංකාව ද එයට එක් නිදසුනකි. දියුණු කාර්මික ආර්ථිකයක් (Industrial Economy) ගොඩනැගීම අරමුණු කරගත් රජයක් මෙවැනි අවස්ථාවකදී තම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කළ හැකි විගස ඒවා ක්‍රියාත්මක කරනු ඇති. එවිට පොදු අධිකාරින් වන රාජ්‍ය ආයතන යෝජිත ව්‍යාපෘති හරහා සිදු කරන්නා වූ පාරිසරික හානිය වෙනුවෙන් වගවීම තහවුරු කරගැනීමට අපහසු වනු ඇත. එමෙන් ම, මහජනතාවට ලබාගත හැකි, ප්‍රවේශ විය හැකි තොරතුරු ප්‍රමාණය ද පවතින රජය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති මත පදනම් වනු ඇත. 

RTI කොමිෂන් සභාවේ ස්වාධීනත්වය රැකගැනීම මෙහි ඇති ප්‍රථම අභියෝගයයි. මෙම පනත කෙටුම්පත් කරන අවස්ථාවේ කොමිෂන් සභාව විධායකය යටතේ ක්‍රියාත්මක නොවන කොමිෂන් සභාවක් ලෙස සකසා තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද විසිවන සංශෝධනයෙන් පසුව ජනාධිපතිතුමා යටතට බොහෝ බලතල ඇතුළත් වුණි. එම නිසා 2021 සැප්තැම්බර් මාසයේදී දැනට පවතින කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ කාල සීමාව අවසන් වූ විගස නව සාමාජිකයන් කොමිෂන් සභාවට පත් වන්නේ කුමන අයුරින් ද යන්න අනාගතයේදී විද්‍යාමාන වනු ඇත. 

දෙවනුව, අරමුණු පිළිබඳ ගැටුමක් (Conflict of Interest) ඇති විය හැකිය.  ඊට හේතුව නම්,  ජනමාධ්‍ය අමාත්‍යාංශය RTI කොමිෂන් සභාවට සම්පත් දායකත්වය සපයන නමුත්  ජනමාධ්‍ය අමාත්‍යංශය ද RTI කොමිෂන් සභාවට යටත් පොදු අධිකාරියකි. එනිසා ස්වාධීන සම්පත්දායකයින් RTI කොමිෂන් සභාවට හිඟ වීම ගැටලුවකි.

තෙවනුව, RTI කොමිෂන් සභාවට  පොදු අධිකාරියක් පනත උල්ලංඝනය කළ විට  දඬුවම් නියම කළ නොහැක.  පනතේ 39 වන වගන්තිය යටතේ පනත හෝ නීතී උල්ලංඝණය කිරීමකදී RTI කොමිෂන් සභාවට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පවරා, එමඟින් විත්තිකරුට එරෙහිව දණ්ඩනයක් ලබාගත හැකිය.  නමුත් විද්වතුන් තර්ක කරන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව,  ශ්‍රී ලංකා රේගුව යනාදී රාජ්‍ය ආයතනවලට දණ්ඩනයන් නියම කළ හැකි නම් එවැනි බලතල ද RTI කොමිෂන් සභාවට ද ලබා දිය යුතු බවයි. තවදුරටත් ඔවුන් දක්වන්නේ එමඟින් RTI කොමිෂන් සභාවේ කටයුතු සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නය ඉක්මන් වන බවත් නඩු ගොඩගැසීම ඵල රහිත බවත් ය.  

 

නිගමනය

2017 – 2019 දක්වා වූ කාල පරිච්ඡේදය තුල RTI කොමිෂන් සභාවේ තීරණ අනුව, ඉන් 85% ක ප්‍රමාණයක් තොරතුරු මුදා හැර ඇති බව යුනෙස්කෝ සංවිධානය (UNESCO) එහි 2020 වාර්තාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (United Nations) දන්වා ඇති බවට වාර්තා වේ. මෙය සතුටට කරුණකි. මක්නිසාද යත් එමගින් මහජනතාවගේ, පුරවැසියන්ගේ ‍ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත බව තහවුරු කරන බැවිනි. 

තොරතුරු දැනගැනීමට ඇති අයිතිවාසිකම, මහජන සහභාගීත්වයෙන් තීරණ ගැනීම, යුක්තිය පසිඳලීමට ප්‍රවේශ වීමට ඇති හැකියාව; පාරිසරික මෙන් ම මානව හිමිකම් පිළිබඳව රචිත නීති මූලාශ්‍රවල ද දක්නට ඇත. පාරිසරික නීතිය මෙන් ම මානව හිමිකම් නීතිය යටතේ ද ඉහත සඳහන් කළ අයිතිවාසිකම් ත්‍රිත්වය දැක්වෙන්නේ පුළුල් ලෙස පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ය. 

අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම බල ගැන්වීම ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේ වැදගත් මූලිකාංගයක් වන බවයි. එවිට මහජන පිළිගැනීම මත සකසන EIA වාර්තා සමඟ නීතියේ ආධිපත්‍යය හා පරිසර සංරක්ෂණය ද මුදුන් පත්වනු ඇත.

මුල් අයිතිය: Daily Mirror

ආශ්‍රිත පරිශීලන

 

(2021 – 07 – 21 දින මෙම බ්ලොග් සටහන රචනා කරන ලදී.)

No comments yet.

Leave a comment

Your email address will not be published.