මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් අතර ඇති වෙනස්කම්

IN PARTNERSHIP WITH TAF Logo - Black

කර්තෘ: කාංචනා ෂෙහානි

Image Credits: Sunday Observer

උධෘතය – IEE වාර්තාව සළකා බැලීමෙන් පසුව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීම හෝ, විය හැකි බලපෑම්වල වැදගත්කම සහ සංකීර්ණත්වය අනුව EIA වාර්තාවක අවශ්‍යතාව ද පෙන්වා දිය හැක.

රාජ්‍යකට තම සංවර්ධනීය ඉලක්ක සපුරාගැනීමේ කාර්යයේදී, තම ස්වභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා යම් බැඳියාවක් පවතී. ඒ හේතුවෙන් යම් ව්‍යාපෘතියක් දියත් කිරීමට පෙර එමඟින් සිදුවිය හැකි පාරිසරික, සමාජ- ආර්ථික සහ සංස්කෘතිමය බලපෑම් පිළිබඳව ඇගයීම් ක්‍රියාවලියක් සිදු කිරීම වැදගත් වේ. 

මේ සඳහා අවශ්‍ය වන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තුළ ප්‍රධාන වාර්තාවන් ද්විත්වයක් 1980 අංක 47 දරන ජාතික පාරිසරික (සංශෝධිත)  පනත මඟින් හඳුනාගෙන ඇති බව අංක 2 අ: පාරිසරික විෂය පථය සඳහා AEI ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ අනුව පැහැදිලි වන අතර එය පහත ආකාරයට දැක්විය හැක.

img000

ජාතික පාරිසරික පනතට සිදු කරන ලද 1988 අංක 56 දරන සංශෝධනය මඟින් අර්ථ දක්වන ආකාරයට මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් යනු,

img111

මේ අනුව IEE වාර්තාවක් තුළ යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විකල්ප ක්‍රම හෝ අපේක්ෂිත හානි අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව නොදක්වන අතර EIA වාර්තාවක මෙන් පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් ද අන්තර්ගත නොවේ. මෙම වාර්තාව සළකා බැලීමෙන් පසුව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීම හෝ, විය හැකි බලපෑම්වල වැදගත්කම සහ සංකීර්ණත්වය අනුව EIA වාර්තාවක අවශ්‍යතාව ද පෙන්වා දිය හැක.

එසේම  ඉහත සංශෝධනයට අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් යනු,

img222

ප්‍රායෝගිකව මෙම වාර්තා ද්විත්වයම එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් ලෙස සලකන අතර යම් යෝජිත ව්‍යාපෘතියක ස්වභාවය අනුව IEE වාර්තාවක් හෝ EIA වාර්තාවක් සකස් කිරීම අවශ්‍ය වේ. ජාතික පාරිසරික පනතට අමතරව මේ සම්බන්ධව ප්‍රතිපාදන සලසන තවත් ව්‍යවස්ථාවන් ලෙසට 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධිත) ආඥාපනත, 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනත සහ 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය හඳුනාගත හැක.

EIA/ AEI ක්‍රියාවලියේ සහ IEE ක්‍රියාවලියේ පියවරයන් තරමක් දුරට එක සමාන වන අතර මේ පිළිබඳව 1993/6/24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය මඟින් මාර්ගෝපදේශනය සලසනු ලබයි.

ඒ අනුව පළමුවෙන්ම ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන (Project Approving Agency/ PAA) විසින් ප්‍රාථමික තොරතුරු ලැබීමෙන් අනතුරුව: IEE වාර්තාවක් අවශ්‍ය වන අවස්ථාවකදී දින 14ක් ඇතුළත ද, EIA වාර්තාවක් සම්බන්ධයෙන් වන විටදී දින 30ක් ඇතුළත ද විෂය නිර්ණය සටහන් (Terms of References- ToR) ව්‍යාපෘති යෝජක වෙත ලිඛිතව නිකුත් කරනු ලැබේ.

ප්‍රාථමික තොරතුරු සළකා බැලීමෙන් පසුව නියම කරනු ලබන IEE වාර්තාව හෝ EIA වාර්තාව ව්‍යාපෘති යෝජක විසින් PAA හට ඉදිරිපත් කළ යුතු අතර PAA විසින් වාර්තාව ToR සමඟ අනුකූල වන්නේද යන්න නිශ්චය කරනු ලබයි. වාර්තාව ප්‍රමාණවත් නොවන විටකදී සංශෝධනය කොට නැවත ඉදිරිපත් කරන ලෙසට ව්‍යාපෘති යෝජකට නියම කළ හැක.

කෙසේ වුවද, වෙරළ කලාපය තුළ සිදුකරනු ලබන සියළුම සංවර්ධන ක්‍රියාකාරකම් නියාමනය කරන  1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනත හරහා කුමන ව්‍යාපෘතිය EIA/AEI ක්‍රියාවලිය අනුගමනය කළ යුතුද යන්න තීරණය කිරීමේ අභිමතය අධ්‍යක්ෂ ජනරාල්වරයා හට ලබා දී ඇත. ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විවිධ කොන්දේසි සළකා බැලීමෙන් පසුව අදාළ අවසරපත නිකුත් කිරීමට පෙර, ව්‍යාපෘති යෝජකට IEE වාර්තාවක් හෝ EIA වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියම කළ හැක.

 

මහජන සහභාගීත්වය

මේ පියවර සම්බන්ධයෙන් මෙම ක්‍රියාවලීන් දෙකෙහි වෙනස් තත්වයක් පෙන්නුම් කරනු ලබයි. එනම්,  2000 අංක 53 දරන සංශෝධනයට අනුව ජාතික පාරිසරික පනත මඟින් IEE වාර්තාව මහජනයා විසින් පරීක්ෂා කිරීම සඳහා විවෘතව තැබීමට නියම කරනු ලැබුවද, ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගනීමට අදාළ ප්‍රතිපාදන බැහැර කර ඇත. එසේම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනත මඟින්ද ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් IEE වාර්තාවක් පමණක් ප්‍රමාණවත් වන විටකදී, දින 30ක් ඇතුළත ඊට අදහස් දැක්වීම සඳහා උපදේශන කමිටුවට පමණක් යොමු කරනු ලැබේ. කෙසේ වූවද, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධිත) ආඥාපනත සහ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය මඟින් IEE වාර්තාවක් සඳහා  EIA වාර්තාවක් හා සමානව මහජන මත ප්‍රකාශ කිරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

ඒ අනුව EIA වාර්තාවක් අවශ්‍ය වන විටකදී, එය PAA වෙත ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධව ගැසට් පත්‍රයේද, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන එක් එක් භාෂාවෙන් දිනපතා පළවන එක් ජාතික ප්‍රවෘත්ති පත්‍රයක ද දැන්වීමක් පළකොට එම වාර්තාව මහජන විමර්ශනයන්ට හා ලිඛිත අදහස් දැක්වීම සඳහා ස්ථානයක් හා වේලාවක් දැනුම් දී, කාර්යාලයීය දින 30ක කාලයක් විවෘතව තබනු ලැබේ. එසේම, මීට සමගාමීව අදාළ වාර්තාව සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම සඳහා PAA විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවක් ද පත් කළ යුතුය. එම කාල සීමාව අවසන් වී දින 6ක් ඇතුළත PAA විසින් මහජන අදහස් සමාලෝචනය කොට නිසි පියවර ගැනීම සඳහා ව්‍යාපෘති යෝජක වෙත යවනු ලබයි. 

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනතට අනුව EIA වාර්තාවක් දින 60ක් ඇතුළත අදහස් දැක්වීමට කමිටුව වෙත ඉදිරිපත් කරන අතර, දින 30ක කාලයක් ඇතුළත මහජන අදහස් දැක්වීම සඳහා ගැසට් පත්‍රයේ දැන්වීමක් ද පළ කරනු ලබයි. 

 

ව්‍යාපෘතිය අනුමත කිරීම

1993/6/24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව IEE වාර්තාව සම්බන්ධයෙන් ලද මහජන අදහස් පිළිබඳව ව්‍යාපෘති යෝජකගේ ප්‍රතිචාර ලැබී දින 6ක් ඇතුළත PAA විසින්,

– යෝජිත ව්‍යාපෘතිය දියත් කිරීම සදහා කොන්දේසි සහිත අනුමැතිය ලබාදීම හෝ ;

– හේතු දැක්වීමක් සිදු කිරීමෙන් අනතුරුව, අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ හැක.

නමුත් EIA වාර්තාවක් සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමේදී දින වකවානු සම්බන්ධයෙන් යම් වෙනස්කමක් පවතී. ඒ අනුව, වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබී දින 30ක් ඇතුළත PAA විසින් තම තීරණය ලබා දිය යුතු වේ.

කෙසේ  වුවද, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධිත) ආඥාපනත මඟින් IEE හෝ EIA වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් ලැබී දින 60ක් ඇතුළතත්, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනතට අනුව EIA වාර්තාවක් සම්බන්ධයෙන් සියළු අදහස් ලැබී දින 60 ක් ඇතුළතත් තීරණය ලබා දිය යුතු වේ. 

තවද ඉහත ගැසට් නිවේදනයට අනුව PAA විසින් මෙම වාර්තා සඳහා අනුමැතිය ලබාදී දින 30ක් ඇතුළත ව්‍යාපෘතියේ  ක්‍රියාකාරකම් පසු විපරම් කිරීම සඳහා සැලැස්මක් ඇතුළත් වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දිය යුතුය. අනතුරුව අනුමැතිය සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ සහ දිනපතා පළවන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ජාතික පුවත්පතක දැන්වීමක් පළ කළ යුතුය.

අවසාන වශයෙන් මෙහිදී  PAA විසින් ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් ලබාදෙන අතර ව්‍යාපෘති යෝජකට අවශ්‍යනම් එම කාලසීමාව ඉකුත්වීමට දින 30කට පෙර ලිඛිතව එම කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිය හැක. තවද අනුමැතිය ලබා දී තිබෙන යම් ව්‍යාපෘතියක් අතහැර දැමීමක් හෝ වෙනස් කිරීමක් සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජක විසින් අදාළ PAA වෙත දැනුම් දීමට අමතරව, වෙනස් කිරීමකදී නව අනුමැතියක් ද ලබාගත යුතු වේ.


ආශ්‍රිත පරිශීලන

  • Central Environmental Authority- Steps in EIA Process 

(http://www.cea.lk/web/component/content/article?id=94)

  • Environmental Foundation (Guarantee) Ltd.- Relevant Laws, Regulations and Guidelines Regarding IEE/EIAs 

(https://efl.lk/relevant-laws-regulations-and-guidelines/#1622818823753-a879d955-9b9b )

No comments yet.

Leave a comment

Your email address will not be published.