ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ පාර්ශවකරුවෙකු වන අතර දිගු කාලීන දේශගුණික රාමු ගොඩනැගීම සඳහා ගෝලීය පෙරමුණට සහාය වීමට බැඳී සිටී. මෙම වාතාවරණය තුළ මෑත කාලීන සිදුවීම් කිහිපයක් හේතුවෙන්, විදුලි බලාගාරවල ගල් අඟුරු කළමනාකරණය සහ රට තුළ විදුලිය හා බලශක්ති භාවිතය පිළිබඳ මහජන අවධානය වර්තමානයේ වැඩි වශයෙන් යොමු වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ පවත්නා එකම ගල් අඟුරු බලාගාරය හෙවත් නොරොච්චොලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය පුත්තලම් දිස්ත්‍රිකයේ, කල්පිටි අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇත. 1995 දී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම බලාගාරය මෙරටට අවශ්‍ය බව යෝජනා කරනු ලැබු අතර 2007 වර්ෂයේදී මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. මෙම බලාගාරයේ ඉදිකිරීම් අදියර 03ක් යටතේ සිදුකර 2014 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසාන කරන ලදී. එමෙන්ම මෙම බලාගාරය මඟින් මෙගාවොට් 900ක විදුලියක් උත්පාදනය කරනු ලබයි.
ගල් අඟුරු නිධි වලට හිමිකම් කියන ලොව බලවත් වන ඇමරිකාව, චීනය වැනි රටවල මිට දශකයකට පමණ පෙර ඔවුන්ගේ විදුලි උත්පාදන කටයුතු සඳහා ගල් අඟුරු වලට ප්රමුඛස්ථානයක් හිමි විය. නමුත් වර්තමානයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ එම රටවල් විසින් ගල් අඟුරු භාවිතයෙන් බැහැර වෙමින් පවතිනු ලබන්නේ මෙයින් හටගනු ලබන අහිතකර බලපෑම් හේතුවෙනි. ගල් අඟුරු බලාගාරවලින් පිටවන විෂ වායුන් ලෙස සල්ෆර්, නයිට්රජන්, කාබන්ඩයොක්සයිඩ් දැක්විය හැකිය. මේවා අතුරින් කාබන්ඩයොක්සයිඩ් වායුව දේශගුණික විපර්යාසයන් රැසකට හේතු වේ. එමෙන්ම පරිසරයට මෙම අහිතකර වායුන් මුදාහැරීම තුළින් පරිසර දූෂණය සිදුවනවා පමණක් නොව එය ඉතා අහිතකර අයුරින් මිනිස් සෞඛ්‍ය කෙරෙහි ද බලපානු ලබයි. මෙය මූලික වශයෙන් මිනිස් ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග වලට බලපානු ලබයි. එමෙන්ම මිනිස් සෞඛ්‍යයේ පැවැත්මට අහිතකර ද්‍රව්‍යන් වන කාබන් ඩයොක්සයිඩ්, නයිට්රජන්, සල්ෆර් වැනි වායුන්ට නිරාවරණය වීම තුළින් නිදන්ගත රෝගී තත්ත්වයන් වන නියුමෝනියාව, උග්‍ර ස්වසන ආබාධ, ක්ෂය රෝගය, ඇදුම, හෘද වාහිනී ආශ්රිත රෝග, ඇස්වල සුද ඇතිවීම වැනි ඉතා අහිතකර සෞඛ්‍ය ගැටලු මතු විය හැකිය. තවද දීර්ඝකාලීනව මේ ආකාරයෙන් මෙම වායුන්ට නිරාවරණය වීම තුළින් පිළිකා හට ගැනීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව ද නවීන පර්යේෂණ මඟින් හෙළි වී ඇත. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය අවට ප්රජාවන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ ජීවනෝපායන් සම්බන්ධයෙන් ආපසු හැරවිය නොහැකි බරපතල බලපෑමක් ගොඩබිම සහ සාගරය යන දෙකටම සිදු කරයි. එමෙන්ම ගල් අඟුරු දහනයෙන් අළු වැනි අපද්‍රව්‍ය නිපදවනු ලබන අතර ඒවා තුළ රසදිය වැනි බැර ලෝහ අඩංගු බැවින් මෙම ද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යයට හා පාරිසරික පැවැත්මට ඉතා අනතුරුදායක ය.
නොරොච්චොලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අවධියේ පටන්ම මේ සඳහා විරෝධතාවයක් පැන නඟින ලද්දේ ප්‍රදේශවාසීන්ගේ ඉඩම් අහිමි වීම, පරිසර දුෂණය හා සෞඛ්‍ය ගැටලු යන ප්‍රධාන කරුණු තුන මුල් කරගෙනය. නමුත් මෙම විරෝධතා නොසළකා ඉදිකරන ලද මෙම බලාගාරය හේතුවෙන් මේ වන විට කල්පිටිය ප්‍රදේශය දැවැන්ත පාරිසරික දුෂණයකට හා එම ප්‍රදේශයේ වෙසෙන ප්‍රදේශවාසීන් සෞඛ්‍ය ගැටලු රාශියකට ද මුහුණ පා ඇත. විශේෂයෙන් මෙහිදී මෙම ගල් අඟුරු බලාගාරය මඟින් පිටකරනු ලබන උණුසුම් ජලය බැහැර කරනු ලබන්නේ කල්පිටිය මුහුදු තීරයටයි. ඒ හේතුවෙන් මුහුදු ජීවින් විනාශ වී යෑම් වරින් වර වාර්තා වූ අතර මෙමඟින් පිට කරන අළු ආදිය නිසියාකාරයෙන් බැහැර නොකිරීම හේතුවෙන් මෙම ප්‍රදේශය තුළ ස්වසනයට අපහසු තරමට වාතය දුෂණය වී පවතී.
කල්පිටිය ප්‍රදේශයේ සිදුකරන ලද ගවේෂණ වලදී නිරීක්ෂණය වී ඇත්තේ ගල් අඟුරු දහනයෙන් බැහැර වන අළු එම ප්‍රදේශය පුරා පවතින වගාබිම්වල හා විවෘත ජල භූමිවල තැන්පත් වී ඇති ආකාරයයි. ඒවා ඇතැම් නිවාසවල වහලය මත ද දකින්නට ඇත. වාතය සමඟ මුසුවන අළු කිලෝමීටර ගණනක් දුරට පතිත වන බව පර්යේෂණ වාර්තා මඟින් පෙන්වා දී ඇත. මීට අමතරව බලාගාරය අවට ගම්මානවල ජිවත් වන තවත් ළමුන් රැසකගේම සමේ නොයෙකුත් වෙනස් කම් දක්නට ලැබෙන අතර වැඩිහිටි පුද්ගලයන් රැසක් ස්වසන රෝගාබාධවලින් පීඩා විදින බව දැකගත හැකිය. ඊට හේතුව ලෙස විදුලි බලාගාරයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන ගල් අඟුරු නිසි පරිදි ගබඩා නොකිරීම හා ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් බලාගාරය අවට පිහිටි ගම්මාන තුළ වාතයට ගල්අඟුරු මිශ්‍ර දුහුවිලි හා අළු එක්ව තිබීම දැක්විය හැකිය.
විශේෂයෙන්ම, නිරිතදිග මෝසම් සුළං සක්‍රීයව හමන වාරකන් සමයේදී මෙම ගල් අඟුරු දූලි සහ අළු දූලියෙන් අවට ප්‍රදේශ රැසකට විශාල ව්‍යසනයක් සිදුවේ. ඉලන්තඩිය, පනියඩිය, නාරක්කල්ලිය, පූලච්චේන හා නොරොච්චෝල ග්රාමවාසීන් දැඩි සේ අළු සහ අඟුරු දූලියෙන් පීඩාවිඳිති. බොහෝ නිවෙස් තුළට මෙම අළු හා අඟුරු දූලි සුළඟට ගසා විත් තැන්පත් වී ඇති අතර, ආහාර පාන පිසගැනීමට, ඇඳුම් පැලඳුම් සෝදා වේලා ගැනීමට ඇතුළු දෛනික ජීවිතයේ බොහෝ කටයුතු සඳහා මෙම අළු සහ අඟුරු දූලි මහත් බාධාකාරී වී ඇත. සුළඟට ගසා විත් නිවෙස් තුළ තැන්පත් වී ඇති මෙම අළු සහ අඟුරු දූලි සෝදා පවිත්‍ර කිරීමට පවා අපහසු ය. තවද බහුතරයක් ගොවීන් වෙසෙන මෙම ප්‍රදේශවල අළු හා අඟුරු දූලියෙන් වගා කටයුතුවලට එල්ල වී ඇති විනාශකාරී බලපෑම අතිමහත් ය. සුළං සමඟ හමා එන මෙම අළු හා අඟුරු දූලියට ගොවීන් මෙන්ම වගාබිම් රැසක් ද බිලි වී ඇති අතර සරුසාර අස්වැන්නක් නො ලැබීම සහ ලැබෙන අස්වැන්න වෙළඳපොළට යැවීමට පෙර අධික පිරිවැයක් දරා සෝදා පවිත්‍ර කිරීමට සිදුවීම මෙම බලාගාරය හේතුවෙන් ඇති වී තිබෙන අහිතකර ප්රතිඵලයන් ය.
එමෙන්ම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් ධීවර රැකියාවට එල්ල වී ඇති බලපෑම ද ඉමහත්ය. මූලිකවම ගල් අඟුරු ප්‍රවාහනය කරන නෞකා බලාගාරයට සමීප මුහුදු තීරයට පැමිණි විට නෞකා වඩා දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්වේ. ධීවරයන් බහුතරයක් වෙසෙන ඉලන්තඩිය සහ මාම්පූරිය ධීවරයිනට තම රැකියාව සඳහා ඇති හොඳම සහ සීමිත මුහුදු තීරයේ ගල් අඟුරු නෞකාවන් නැංගුරම් ලෑම සහ අවට ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් බවට පත්වීම මහත් ගැටලුවක් වී ඇත. තවද තාප බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර සිසිලනය සඳහා ලබාගන්නා මුහුදු ජලයට විවිධ රසායන ද්‍රව්‍ය එක්කර අධික උෂ්ණත්වයෙන්ම නැවත මුහුදට මුදාහැරීම හේතුවෙන් මුහුදු ජීවීන් සහ ශාක විනාශයට හේතු වී ඇත. එලෙසම ගල් අඟුරු බෑම සඳහා ඉදිකර ඇති ජැටිය වෙරළ ඛාදනයට හේතු වී ඇති අයුරු දැක බලාගත හැකි ය.
No comments yet.