නීති විරෝධී සත්ත්ව වෙළදාම හා එහි බලපෑම්

කුමන කාර්යයක් සඳහා හෝ මිනිසුන් විසින් සත්ත්ව හා ශාක සම්පත් හුවමාරු කර ගැනීම හෝ අලෙවි කිරීම සිදුකරන්නේ නම් එය ‘සත්ත්ව වෙළඳාම’ යනුවෙන් හැඳින්විය හැකිය. සෑම වර්ෂයක් පාසාම ආහාර, සුරතල් සතුන්, විසිතුරු පැළෑටි, සත්ත්ව හම්, සහ ඖෂධ සඳහා අල්ලා ගන්නා ලද හෝ වගා කරන ලද සත්ත්ව සහ ශාක විශේෂ මිලියන ගණනක් අලෙවි කිරීම සිදුවන අතර, එයින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ සත්ත්ව ප්‍රජාවේ පැවැත්ම සඳහා හානියක් නොවන නිත්‍යානුකූල  ක්‍රමවේදයන් හරහා ය.

නමුත් නීතිවිරෝධි  වෙළඳපොළේ දී නීතියෙන් අලෙවි කිරීම තහනම් කරන ලද දුර්ලභ සත්ත්ව සහ ශාක විශේෂ ඉහළ මිලකට අලෙවි කීරීම සිදුවන අතර වර්තමානයේ දී වාසස්ථාන විනාශයට පසුව සත්ත්ව ප්‍රජාව මුහුණ දී ඇති දැවැන්ත ම අභියෝගය බවට නීති විරෝධී සත්ත්ව වෙළඳාම පත්ව තිබේ. මේ අයුරින් සතුන් නීති විරෝධී ලෙස එක්රැස් කිරීම, ප්‍රවාහනය කිරීම හා බෙදා හැරීම වනජීවී ජාවාරම ලෙස සළකනු ලබන අතර වර්තමානයේ දී, මෙය ජාත්‍යන්තරව සහ දේශීයව සිදු කෙරෙන අතර එය ලෝකයේ තුන්වන වඩාත් නීති විරෝධී වාණිජ ක්‍රියාකාරකම ලෙස ද හඳුන්වනු ලබයි.

Image Credits: Biodiversity Sri Lanka

වන සම්පත් මඟින් මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය පිරිසිදු වාතය, ආහාර, පලතුරු, දැව, ඉන්ධන, ගොඩනැගිලි ද්‍රව්‍ය, ඖෂධ, රෙදි, සම් වර්ග ආදී විවිධාකාර  දේ සපයනු ලබන අතර  නොයෙකුත් ආකාරයේ විලාසිතා හා විනෝදාංශ සඳහා මෙන්ම ජන සමාජවල සංස්කෘතිකාංග සඳහා ඇත්දළ, ගජමුතු, මුතු, අං තට්ටු, කැස්බෑ කටු, කොටි හම් ආදී සත්ත්ව ශරීරාංග බහුලව යොදාගනු ලැබේ. සමස්තයක් ලෙස වනජීවී සම්පත් මඟින් පාරිසරික, සමාජ, ආර්ථික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සංස්කෘතික, සෞන්දර්යාත්මක සහ වි‍නෝදාත්මක ප්‍රතිලාභ රැසක් ලබාදෙනු ලබයි. නමුත් ශිෂ්ටසම්පන්නව තිරසාර ලෙස සිදු කෙරෙන නීත්‍යානුකූල වනජීවී වෙළෙඳාම ජන සමාජයේ පැවැත්ම සඳහා අවශ්‍ය නමුත් නීති විරෝධී වනජීවී වෙළෙඳාම තුළින්  ස්වභාවික යහපැවැත්මට කරන අයහපත් බලපෑම ඉතා විශාලය.

මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු රටවල වෙසෙන විවිධ පුද්ගල කණ්ඩායම්  විසින් වනජීවී දඩයම සිදුකරන අතර ‍ඔවුන්ගේ වෙළෙඳාම කටයුතු  චීනය, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං ඇතුළු නැගෙනහිර ආසියානු රටවල් කේන්ද්‍රකොට ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපය දක්වා ව්‍යාප්තව පවතී. මෙම පුද්ගල කණ්ඩායම් විසින් ජාත්‍යන්තර ජාල වශයෙන් සිදුකරනු ලබන මෙම නීති විරෝධී සත්ත්ව වෙළඳාම් කටයුතු තුළින්  උපයන මුදල් අන්තර්ජාතික අපරාධ හා රටවල්වල කැරලි ඇති කිරීමටත්, දේශපාලන අස්ථාවරත්වයන් ඇති කිරීමටත් යොදා ගැනීම ඛේදවාචකයක් වේ. මෙවැනි තත්ත්වයන්ට හසු වූ රටවල ආර්ථිකයන් කඩාවැටෙන අතර එම රටවල පවතින වියවුල්කාරී තත්ත්වය හේතුවෙන් විදේශීය රටවල් කරන ආයෝජන නතර වෙන හෝ සීමා වන අතර සංචාරක ව්‍යාපාරය ද පිරිහීමට ලක් වේ. සංවිධානාත්මක ලෙස මෙම ජාවාරම සිදුවන ජාලය හා ඒ ඒ කල්ලිවල කාර්යභාරයන් නිසි පරිදි හඳුනාගෙන ඒවා කඩා බිඳ දමමින්, සිදුවන්නා වූ නීති විරෝධී වනජීවී වෙළඳාමත්, ඒ පිටුපස ඇති බිහිසුණු බවත් තුරන් කිරීම වර්තමානය වන විට ලෝකය ඉදිරියේ පවතින ප්‍රබල අභියෝගයක් ලෙසට හඳුනාගත හැකිය.

ජාත්‍යන්තර ජාලයන් ඔස්සේ රහසිගතව මෙම නීති විරෝධී සත්ත්ව වෙළඳාම සිදුවන බැවින් එහි මූල්‍යමය වටිනාකම මැනීම අපහසු වුව ද, ‘TRAFFIC’ හෙවත් සත්ත්ව වෙළඳාම අධීක්ෂණය කිරීම සඳහා වන ජාලය සඳහන් කරන්නේ 1990 දශකයේ සිට ලොව පුරා අලෙවි වී ඇති නීති විරෝධී සත්ත්ව නිෂ්පාදිතයන්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 160ක් පමණ විය හැකි බවයි. එයට අමතරව, ජීවත් ව සිටින සත්ත්ව විශේෂ අලෙවිය ද සිදුවන අතර එක් වර්ෂයක් තුළ දී මත්ස්‍යයින් ටොන් මිලියන 100ක්, පක්ෂීන් මිලියන 1.5ක්, සහ ඖෂධීය ශාක ටොන් 440,000ක් පමණ ජාවාරම් කරන බව සළකනු ලබයි.

නීති විරෝධී සත්ත්ව වෙළඳාම මඟින් වඩාත් බලපෑමට ලක් වී ඇත්තේ රයිනෝසිරස්, අලි ඇතුන්, ව්‍යාඝ්‍රයින් සහ වලසුන් වැනි ප්‍රමාණයෙන් විශාල සතුන් ය. නමුත් ආභරණ, සාම්ප්‍රදායික ඖෂධ, විසිතුරු සිහිවටන ආදිය නිර්මාණය කිරීම සඳහා සත්ත්ව විශේෂ රැසක් දඩයම් කරනු ලබයි. එසේම නීති විරෝධී සත්ත්ව නිෂ්පාදිත සඳහා ඉහළ ඉල්ලුමක් ඇත්තේ ආසියා මහද්වීපයේ විශේෂයෙන්ම චීනය සහ වියට්නාමය යන රටවල් තුළය. මෑත කාලයේ දී නීති විරෝධී සත්ත්ව වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් හිමි වී ඇත්තේ  රතු දත්ත වාර්තාවට අනුව ලොව සීග්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයක් වන කබල්ලෑවාගෙන් ලබාගනු ලබන කබල්ලෑ කොරපොතු සඳහාය. ඒ සාම්ප්‍රදායික චීන සහ වියට්නාම් ඖෂධ සඳහාය.  කබල්ලෑ කොරපොතු හොඳින් තම්බා මනාව වියළා සකස් කර ගන්නා කුඩු, කිරි නොඑරෙන මව්වරුන් සඳහා ලබා දීම චීනයේ සහ වියට්නාමයේ ජනප්‍රිය අත්බෙහෙතක් වන අතර  වියට්නාම් වැසියන් කබල්ලෑ මාංශ ප්‍රණීත ආහාරයක් ලෙස ද සළකනු ලබයි.

Image Credits: © Chris R Shepherd/ Traffic

චීනය සහ ගිනිකොණදිග ආසියාව තුළ ව්‍යාඝ්‍රයින් සඳහා ඇත්තේ ද ඉහළ ඉල්ලුමකි. ව්‍යාඝ්‍ර අස්ථි, මාංශ, ලොම්, දත්, සහ නියපොතු සඳහා ඇති ඉල්ලුම අධික බැවින් එයට සරිලන සැපයුමක් ලබා දීම සඳහා චීනය සහ අසල්වැසි රාජ්‍යයන් හි ව්‍යාඝ්‍ර ගොවිපොළවල් පවත්වාගෙන යනු ලබයි. චීන වැසියන් විසින් ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාඝ්‍ර අස්ථි සහ ලිංගය, සහල් හා  වයින් සමඟ  ආහාරයට ගැනීම සිදුකරනු ලබයි. ලෝකයේ බොහෝ රාජ්‍යයන් හි ව්‍යාඝ්‍ර වෙළඳාම නීති විරෝධී වුව ද  චීනය තුළ එය සිදුවන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ වීම අවාසනාවට කරුණකි.

එමෙන්ම වන සතුන් දඩයමට සහ වෙළඳාමට ලක්වීම මඟින් බොහෝ විශේෂයන් වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටී. සමහරක් සත්ත්ව කොටස් ඉහත දැක්වූ පරිදි  මිනිසුන් විසින් ආහාරයට ගැනීම, ලෙඩ රෝග සුවකිරීමට බෙහෙත් ද්‍රව්‍ය (කෙම් ක්‍රම) ලෙස භාවිතා කීරීම  සහ සුරතල් සතුන් ලෙස ළඟ තබාගැනීම මඟින් මෙම තර්ජන උග්‍ර වී ඇත. මෙලෙස වන සතුන් දඩයම් කීරීම, වනජීවී ජාවාරම, සත්ත්ව වාසස්ථාන විනාශ කීරීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සතුන් මඟින් බෝවන රෝග ව්‍යාප්තිය වැඩි විය හැකි අතර මෙය මිනිසුන් සහ සතුන් අතර රෝග ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය ද ඉහළ දමනු ලබයි.

වර්තමානය වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID – 19 යන නමින් හඳුන්වනු ලබන කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම චීනයේ වුහාන් ප්‍රාන්තයේ ජීව සත්ත්ව වෙළඳපොළක් මඟින් සිදු වූවාක් විය හැකිය. ඒ ජීවි සත්ත්ව වෙළඳාම සතුන් මඟින් ව්‍යාප්ත විය හැකි වෛරස එක් සත්ත්ව විශේෂයකින් තවත් විශේෂයකට බෝවීම සඳහා හොඳ ප්‍රභවයක් වන බැවිනි.

වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබෙන වනසතුන් හා පැලෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ  සම්මුතිය (CITES) පසුගිය වසරේදී ජිනීවා හිදී පැවැත්වුණි. එහිදී සමුළුවට ඉදිරිපත්වී තිබූ  යෝජනා අතුරින් යෝජනා හතරක් ම  ශ්‍රි ලංකාවට ආවේනික උරග විශේෂවලට අදාළව ඉදිරිපත් වී තිබුණි. ශ්‍රී ලංකාවේ වන  සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත (FFPO)  යටතේ මෙරට උරගයන් අපනයනය කිරීම නීතියෙන් තහනම් වුවද මෑතක සිට මෙම උරග විශේෂ වෙළඳාම, වෙන්දේසිය සහ ඊට අදාළ දැන්වීම් කෙරෙහි ජාවාරම්කරුවන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබේ. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ යුරෝපයේ සුරතල් සත්ත්ව වෙළදාමයි. ජර්මනිය, ප්‍රංශය , එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය හෝ රුසියාව වැනි රටවල් මෙන්ම සත්ත්ව අභිජනනයන්ට ඉහළ මිලක් ගෙවන ඇමෙරිකානු වෙළදපොල මේ අතර ප්‍රධාන වේ. මෙහිදී  මෙම වෙළෙදාමෙන් ලැබෙන ඉහළ ලාභය ජවාරම්කරුවන් දිරිගන්වන සුළු වන අතර අනක් අතට එය අදාල  සත්ත්ව විශේෂයට සිදුවන තර්ජනයකි. ශ්‍රි ලංකාව ඉදිරිපත් කළ යෝජනාව තුළ  ජාත්‍යන්තර වෙළදාමට අසුවී තර්ජනයට මුහුණ පා සිටින කටුසු විශේෂ 10ක් ඇතුළත් ය. එමෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද තවත් යෝජනාවක් තුළ  ඉන්දියානු තාරකා ඉබ්බා (Geochelone elegans) පිළිබඳව සඳහන් විය.

මෙම තාරකා ඉබ්බන්  ශ්‍රි ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් තුළ  දක්නට ලැබේ. ආවේනික උරග විශේෂ මෙන්ම  වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් මෙම සත්ත්ව විශේෂයන් ආරක්ෂා කර තිබුණද නීති විරෝධි සත්ත්ව වෙළඳාමේ තවත් එක් වෙළඳාමක් ලෙස තාරකා ඉබ්බන් යුරෝපීය රටවලට අලෙවි කීරීම දැක්විය හැකිය. ලෝකයේ ජෛව විවිධත්වය අනුව නැවුම් ජලය ආශ්‍රිතව ජීවත්වන ඉබ්බන්ගෙන් සියයට 11ක්  මෙම වර්ගයට අයත්ය. 2015 සහ 2017 කාල පරාසය තුළ ශ්‍රි ලංකාවේ  එවැනි ජෛව විවිධාත්මක වටිනාකමින් යුතු ආවේනික ඉබ්බන් 3130ක් අල්ලාගෙන ඇතැයි වාර්තාවල සඳහන් වේ. IUCN රතු දත්ත ලැයිස්තු වාර්තා අනුව ඉතා සීමිත සංඛ්‍යාවක්  ජීවත්වන මෙම ඉබ්බන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. මෙම නීති විරෝධී සත්ත්ව වෙළඳාම තවදුරටත් පැවතුණ හොත්  එය ක්ෂණික වඳ වීයාමේ  තත්ත්වයක් දක්වා උත්සන්න වීම වැළැක්විය නොහැකිය.

තවද ජෛව විවිධත්ව වටිනාකමින් යුතු ආවේනික උරග වර්ග වෙනුවෙන් යෝජනා පහක්, මත්ස්‍යයන් වෙනුවෙන් යෝජනා තුනක් සහ අනෙක් යෝජනාව විවිධ වර්ගයේ සතුන් නියෝජනයවන පරිදි  ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. අවේනික විශේෂ 15ක් අතුරින්  ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු මකුළු විශේෂයකටය. මෙම සතුන් සුරතල් සතුන් ලෙස ඇති කිරීමට  බොහෝ විට යුරෝපය, රුසියාව හෝ එක්සත් ජනපදය යන රටවලට  ඉහළ මිලකට අලෙවි කිරීමට මෙරට  ජාවාරම්කරුවන් පෙළඹී තිබීම අවාසනාවට කරුණකි.

ඊට අමතරව ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් යන සත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයට ද ඇතුලත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින සත්ව විශේෂයක් ලෙස දැක්විය හැකිය. එවැනි  සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වන ශ්‍රි ලංකාවේ මුහුදු තීරය වෙත  ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න් විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී ඒම සිදුවේ. එසේ ලංකාව තුල දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන බටු කැස්බෑවා (Olive ridley turtle) , ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle) , පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් දකුණු වෙරල තිරයේ දී දක්නට ලැබේ. නමුත් කැස්බෑ සංරක්ෂණය මුවාවෙන් ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කීපයක මේ වනවිට පවත්වාගෙන යනු ලබන  පුද්ගලික  කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හේතුවෙන් මෙම කැස්බෑ විශේෂ වඳ වී යාමේ තර්ජනට මුහුණ පා සිටී. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හරහා සිදුවන නීති විරෝධී කැස්බෑ බිත්තර වෙළඳාම හා කැස්බෑ මස් වෙළඳාමයි.

නීති විරෝධී වනජීවී වෙළඳාමට එරෙහිව ශ්‍රී ලංකාවේ වගකීම

වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබෙන වනසතුන් හා පැලෑටිවල ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතිය (CITES) බලාත්මක කළ හැකි පරිදි මෙම විෂයට අදාළ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සකස් කළ යුතුය. එනම් ශ්‍රී ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත හා රේගු ආඥා පනත  වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සිදුකළ යුතු අතර මෙම විෂයන්ට අදාළ ආයතනමය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත් කළ යුතුය. විශේෂයෙන් ලංකා‍ව හරහා නාවික ප්‍රවාහනයේදී කන්ටේනර් පරීක්ෂාව බුද්ධි අංශ විසින් මනාව සිදුකළ යුතු අතර කන්ටේනර් නිදහස් කිරීමට පෙර ගැඹුරු නිරීක්ෂණයක යෙදිය යුතු ය.

නාවික ගමනාගමනයේ දී, ශ්‍රී ලංකාව හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙසෙසින්ම සිදුවිය යුතුය. ලංකාවේ මැදිහත්වීම නිසියාකාරව සිදු නොවුණහොත් ජාත්‍යන්තර වනජීවී ජාවාරමේ තෝතැන්නක් බවට ශ්‍රී ලංකාව පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

කාලීනව ඉහත වෙනස්කම් සිදුකළ යුතු වුව ද දැනටමත් පවතින ඉහත නීති රෙගුලාසි නොබියව හා අභීතව ක්‍රියාවට නැගීමෙන් සැලකිය යුතු මට්ටමක ප්‍රගතියක් අත්කළ හැකි බව ශ්‍රී ලංකා රේගුවේ මේ හා සම්බන්ධ ප්‍රශස්ත ක්‍රියාදාමයන් සැලකිල්ලට ගැනීමේදී පැහැදිලි වේ.

Image credits: © TRAFFIC India

නීති විරෝධී වනජීවී වෙළෙඳාමට එරෙහිව ජනතාවගේ වගකීම

නීති හා ආයතනමය යාන්ත්‍රණයක් ගොඩනඟා තිබුණද   නීති විරෝධී ජාවාරමක් පාලනය කීරීම  පිණිස මහජනයාට ද විශාල වගකීමක් පවතී. මෙහිදී වනජීවී වෙළෙඳ නිෂ්පාදන සම්බන්ධයෙන් “පාරිභෝගිකයන් දැනුවත් තීරණ” (Informed choices) ගැනීමට පෙළඹවීම ඉතා වැදගත් වේ. වනජීවී සංරක්ෂණය පිළිබඳව ප්‍රමුඛ පර්යේෂණ හා අධ්‍යාපන ආයතනයක් වන ලෝක වනජීවී අරමුදල (WWF) විසින් අදාළ දැනුවත් කිරීම් ලෝක මට්ටමින් සිදුකරන අතර තිරසර ලෙස සම්පත් පරිහරණයට අවශ්‍ය උපදෙස් ද ලබාදීමට ද වර්තමානය වන විට කටයුතු කරනු  ලබයි.

වනජීවීන් තුරන් වීමෙන් ජෛව විවිධත්වයට වන හානියත්, ජන ජීවිතයේ යහපැවැත්මට වන හානියත් සංවේදීව හා නැණවත්ව ජනතාව විසින් අවබෝධ කර ගත යුතු අතර ජීවන රටා හා ආකල්ප වෙනසක් ඇති කර ගැනීමෙන් ද වනජීවී සංරක්ෂණයට දායක විය හැකිය. ඇතැම් වනජීවී නිෂ්පාදන ලෙස ඇත්දළ, ගජමුතු, මිණිමුතු, කොටි හම්, අං තට්ටු, සත්ත්ව කෙඳි ආදී දේ පිළිබඳව ඇති සමාජ වටිනාකම් වෙනස් කර ගත හැකිවේ නම් ඒ සඳහා වන ඉල්ලුම පාලනය වී වනජීවීන්ගේ යහපැවැත්ම සහතික කිරීමටත්, පාරිසරික යහපැවැත්ම සුරක්ෂිත කර ගැනීමටත් හේතුවේ. රක්ෂිත හා වනාන්තර ආශ්‍රිතව වෙසෙන පොදු ජනතාව වනජීවී දඩයමෙන් වැළකීමත්, දඩයම් කරන්නන් හා ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරදීම සඳහා අදාළ නිල ආයතනවලට සහය වෙමින් වනජීවී සංරක්ෂණයට ක්‍රියාකාරීව දායක විය හැකිය.

Image Credits: Colombo Telegraph

නීති විරෝධී වනජීවී වෙළෙඳාමට එරෙහිව ආයතනික වගකීම

නීතිවිරෝධී සත්ත්ව වෙළඳාමට එරෙහිව ලෝක වනජීවී අරමුදල සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් නීති විරෝධී සත්ත්ව වෙළඳාම නතර කිරීම සඳහා රැගෙන ඇති ක්‍රියාමාර්ග මූලික වශයෙන් තුන් ආකාරයකින් යුතු වේ. එනම්,

  • වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති වන සත්ත්ව සහ ශාක විශේෂ අන්තර්ජාතික ව වෙළඳාම කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සඳහා සහාය දැක්වීම.
  • නීති සම්පාදනය සහ බලාත්මක කිරීම.
  • මහජනතාව දැනුවත් කිරීම.

යනාදී වශයෙනි.

බොහෝමයක් රාජ්‍යයන් සතුව නීති විරෝධී සත්ත්ව වෙළඳාම සම්බන්ධයෙන් පවතින්නේ ලිහිල් නීතිරීති වන අතර, වඩාත් දැඩි නීතිරීති සම්පාදනය කිරීම සඳහා එවැනි රාජ්‍යයන්ට උපකාර කිරීම සහ නීති බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් සංවිධානය කිරීම, ලෝක වනජීවී අරමුදල මඟින් සිදු කරනු ලබයි. එයට අමතර ව නීති විරෝධී සත්ත්ව නිෂ්පාදිත මිල දී ගැනීම අධෛර්යමත් කිරීම සහ එවැනි කාර්යයන් හි නිරත  වන දේශීය ආයතන සඳහා අවැසි අරමුදල් සැපයීමට ද  ලෝක වනජීවී අරමුදල පසුබට නොවේ. මෙවැනි ක්‍රියාමාර්ගයන් හේතුවෙන් චීනය සහ වියට්නාම ඇතුළු ආසියානු රාජ්‍යයන් බොහෝමයක අවධානය, නීතිවිරෝධී සත්ත්ව වෙළඳාමට එරෙහි වීම කෙරෙහි යොමු වී ඇති බවක් ද  දැකගත හැකිය.

එමෙන්ම නීති විරෝධී වනජීවී වෙළඳාම ඉන්දියන් සාගරය හරහා සිදු වේ. අප්‍රිකාව හා ගල්ෆ් කලාපයෙන් නැගෙනහිර ආසියාවට ප්‍රවාහනය වන නැව් සඳහා සේවා සපයන හුවමාරු මධ්‍යස්ථානයක් බවට ලංකාව ස්ථානගත වීම නිසා උපායමාර්ගිකව මෙම වෙළෙඳාම සඳහා ලංකාව වැදගත් ස්ථානයක් බවට පත්ව ඇත. එබැවින් ගැටලුව පාලනය සඳහා ශ්‍රී ලංකා රේගුවට විශාල කාර්යභාරයක් සිදුකළ හැකි ය. උදාහරණ ලෙස 2012 වර්ෂයේ දී ඇත්දළ 359ක් ශ්‍රී ලංකා රේගුව විසින් භාරයට ගත් අතර, එහි වටිනාකම රුපියල් මිලියන 370ක් වන බවත්, කෙන්යාවේ සිට ඩුබායි යන අතරතුර එම නැව ලංකාවට පැමිණීම නිසා අත්අඩංගුවට ගත හැකි වූ බවත් වාර්තා වේ. ඇමරිකානු ඩොලර් මිලියන 7ක් වටිනා රත් සඳුන්  (Rosewood) දැව කන්ටේනර් 28ක් 2014 වර්ෂයේ රේගුව විසින් භාරයට ගන්නා ලදී. මේ රේගුවේ පාලනයට යටත් කීරීමට හැකි වූ අවස්ථා කිහිපයක් පමණි. මීට අමතරව රේගුවේ පාලනයට ඔබ්බෙන් සිදුවන වනජීවී ජාවාරම් ඕනෑ තරම් තිබිය හැකිය. එබැවින් නීති බලාත්මක කර මෙහෙයුම් යාන්ත්‍රණය  ශක්තිමත් කිරීමෙන් නීති විරෝධී සත්ත්ව වෙළෙඳාම පාලනයට විශාල මෙහෙයක් සිදුකළ හැකිය.

සටහන: රංගනී කුරේ

Cover Image Credits:  National Geographic/ Kate Brooks/ Redux Pictures

No comments yet.

Leave a comment

Your email address will not be published.