නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19 හා පරිසර සමතුලිතතාවය

වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34  ඉක්මවූ  නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19  වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට විද්‍යාඥයින් විසින් විවිධ මත දරනුයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනා වෛරසය ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනා වෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව විවිධ පර්යේෂණයන් මඟින් සොයාගෙන ඇත.

COVID – 19 වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් කාණ්ඩයක් ලෙස දැක්විය හැකි නමුත් මේ වන විට ගෝලීය වසංගත තත්වයක් බවට පත්ව ලොව පුරා සීග්‍රයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය මින් පෙර මිනිසුන්ට ආසාදනය වූ වෛරසයක් බවට මෙතෙත් අනාවරණය වී නොමැත. මෙවැනි තත්වයක් පවත්නා පසුබිමක් තුළ මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක.

පසුගිය දෙසැම්බර් මස අගභාගයේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට මුළු ලොව පුරා පැතිරී ගිය  COVID – 19 වෛරසය සමඟ මිනිසා මේ වන විට මාස හතරකට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින අවධියක සමස්ත ලෝක ආර්ථිකය කඩා වැටීමත්  සමඟ  ඇතිවී තිබෙන පාරිසරික වෙනස්කම් පිළිබඳව සමස්ත ලෝකයේම  අවධානය යොමුවී තිබේ.

පසුගිය දශක කිහිපයක කෙටි කාලයක් තුළ කර්මිකරණයත් සමඟ ලොව පුරා ආර්ථිකය හා බැඳී පවත්නා නිෂ්පාදන කටයුතු ඉහළ යාමත් සමඟම කර්මාන්තශාලාවලින් පිටවන විෂ දුමාරය ඉහළ ගිය අතර එය ඕසෝන් වියන සිදුරු වීමට ද හේතු විය. එමෙන්ම අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ගොඩබිම් පරිසරය හා ජලජ පරිසරය විවිධාකාරයෙන් දුෂණයට ලක් විය. ගෝලීය වශයෙන් සංඛ්‍යාලේඛන විමසා බැලීමේදී ඒ අතරින් 30% ප්‍රමාණයක් චීනයෙන් ද ඇමරිකාව 15% කින් ද ඉන්දියාව 7%කින් ද රුසියාව 5%කින් ද ජපානය 4%කින් ද වශයෙන් ගෝලීය පරිසර දුෂණයට හේතු වී ඇත. නමුත් COVID – 19  වසංගත තත්ත්වයත් සමඟ නගර වසා දැමීමත් සමඟ (Lock Down) කර්මාන්ත අඩපණ වූ අතර ප්‍රවාහන කටයුතු ඇණ හිටීම හේතුවෙන් වායු දුෂණය හා  අපද්‍රව්‍ය බැහැර කීරීම අවම විය. ඒ හේතුවෙන් මිනිසාට සුවබර පරිසරයක වාසය කිරීමට භාග්‍ය හිමිවිය. මාස කිහිපයට පෙර දුෂිත වාතය් ආශ්වස කිරීමට සිදු වු මිනිසාට වර්තමානයේ ලොව පුරා ඇති වී ඇති වසංගත තත්වයත් සමඟ මිනිසාට පිරිසිදු වාතය ආශ්වාස කිරීමට හැකියාව උදා වී ඇත.

වායු දුෂණය

Image Credit: Pixabay

COVID – 19 වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ වුහාන් ප්‍රාන්තය තුළ සියලු මානව ක්‍රියාකාරම් අඩපණ කර නගර වසා දැමීමත් සමඟ මින් කවරදාකවත් නොවූ තරමට දැකුම්කලු ලෙස චෙරිමල් පිපී සමස්ත වුහාන් ප්‍රන්තයම වෙළාගෙන සිටින ආකාරය පසුගියදා විදෙස් මාධ්‍යන් ඔස්සේ වාර්තා කිරීමත් සමඟ ඒ වෙතට මුළු ලෝකවාසීන්ගේම අවධානය යොමු විය. වුහාන් නගරයේ නැගෙනහිර විලෙහි (East Lake) චෙරි මල් දහස් ගාණක් පිපී ඇති ආකාරය දැකිය හැකි අතර  මේ චෙරි මල්  ගස් බොහොමයක් 1998 වර්ෂයේදී  චීන්නු සහ ජපන්නු එක්ව රෝපණය කරන ලද ඒවාය. “මොෂාන් චෙරි බ්ලොසම් උද්‍යානය” ලෙසද හැඳින්වෙන වුහාන්හි පිහිටි ඊස්ට් ලේක් චෙරි බ්ලොසම් උද්‍යානය “ලෝකයේ චෙරි මල අගනගර” තුනෙන් එකක් ලෙසද හඳුන්වනු ලැබේ.

එමෙන්ම COVID – 19 වසංගතය සමඟ වසා දැමුණු චීනයේ වායු දූෂණ දත්ත සටහන් සීඝ්‍ර ලෙස පහත වැටී ඇති අයුරු නාසා ආයතනය විසින් මෑතකදී ගත් චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්නුම් කළේය. මේ අතර කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ පෘථිවි පද්ධතිය සම්බන්ධ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය මාෂල් බර්ක් විසින් COVID – 19 වසංගතය පැතිරීමත් සමඟ පරිසර දූෂණය අවම වීම පිළිබඳව විශ්ලේෂණයක් කළේය. ඒ අනුව, කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වසා දැමීම නිසා කර්මාන්තශාලා සහ වාහනවලින් සිදුවන වායු දූෂණය අඩු කිරීමෙන් ජීවිත දස දහස් ගණනක් බේරා ගත හැකිවී ඇති බව අනාවරණය වී ඇත. විශේෂයෙන් දකුණු චීනයේ නගර වන ෂැංහයි සහ වුහාන්හි වායු දූෂණය පහළ යාම වාර්තාගත ලෙස සිදුව ඇති බවත් ගෙවී ගිය ශීත සෘතුවේ වායු දූෂණයට ප්‍රධාන වශයෙන් මෝටර් රථ හා කුඩා කර්මාන්තවලින් පිටවන දුම හේතුවී ඇති බවත් වාර්තාවල දැක්වේ.

ජල දුෂණය

Image Credits: Yogendra Singh

COVID – 19 ගෝලීය වසංගතයක් බවට ලෝක සංවිධානය විසින් නම් කරද්දී හිතකාමී පාරිසරික බලපෑම ඇතිවූයේ චීනයට පමණක් නොවේ. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙන් ලැබෙන දත්ත වලට අනුව, උතුරු ඉතාලියේද වායු දූෂණය ඉතාලිය වසා දැමීමත් සමඟ සීඝ්‍ර ලෙස පහත වැටී ඇත. මෙහිදී උතුරු ඉතාලියේ පෝ නිම්නය හරහා නයිට්‍රජන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුවීම කැපී පෙණුන බව කොපර්නිකස් සෙන්ටිනල් -5 පී චන්ද්‍රිකාවේ මෙහෙයුම් කළමනාකරු වන  ක්ලෝස් සීනර් (Claus Zehner) සඳහන් කරන ලදී. එමෙන්ම ජල දූෂණය වැඩි මට්ටමක පැවති ඉතාලියේ වැනීසිය නගරයේ ජලය ද අද වන විට පවිත්‍ර තත්ත්වයක පවතියි.

කෙසේ වෙතත් COVID – 19 ව්‍යාප්තිය හේතුවෙන් නගර වසාදැමීමට ගත්  තීරණ හේතුවෙන්  ලොවපුරා පරිසර දූෂණය පහළගොස් ඇති බව පරිසර විද්‍යාඥයන් මේ වන විට අනාවරණ කරගෙන තිබේ. ප්‍රධාන වශයෙන් වායු දූෂණයෙන් පීඩා විඳි නවදිල්ලිය , වුහාන් , නිව්යෝක් , ලොස්ඇංජලීස් , සියොල් , මුම්බායි ආදී නගර සියල්ලේම වායු දූෂණය ගෙවුණු සති තුනක කාලය තුළ පෙර වසරට සාපේක්ෂව 25% ත් 60% ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ඒ පිළිබඳ පර්යේෂකයන් පවසයි. එසේම උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශවාසීන්ට වසර 30 කට පසුව සිය නගරයේ සිට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි හිමාල කඳුවැටිය දැකබලා ගැනීමට හැකි වී ඇත්තේ ද ඉන්දියාවේ වායු දුෂණය අවම මට්ටමක පැවතීම හේතුවෙනි.

COVID – 19 වසංගත තත්වයත් සමඟ සමස්ත ලෝකවාසීන්ට පසුගිය දා සතුටුදායක කරුණක් අසන්නට ලැබුණි. ඒ පෘථිවියේ උත්තර ධ්‍රැවයට ඉහළින් වායුගෝලයේ දක්නට ලැබුණු දැවැන්ත ඕසෝන් සිදුර මේ වන විට මුළුමනින්ම වැසි ඇති බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් මීට දින කිහිපයට පෙර නිවේදනය කරන ලදී.

ඕසෝන් ස්ථරය යනු සමස්ත පෘථිවියම සූර්යාගේ පාරජම්බුල කිරණින් ආරක්ෂා කර දෙන වායු ස්ථරයක් වන අතර පෘථිවි තලයේ සිට කිලෝමිටර් 23 ත් 30 ත් දක්වා උසකට එය පැතිර පවතියි. කාර්මිකරණය හා සම්බන්ධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කාලයක් තිස්සේ ඔසෝන් ස්ථරයේ සමතුලිතතාවට දැඩි හානි සිදුවෙමින් පැවතුණි. ඊට ක්ලෝරො ෆ්ලෝරො කාබන් හෙවත් CFC, මෙතිල් බ්‍රෝමයිඩ්,  වැනි අහිතකර වායු අණු හේතුවිය. 1987 වර්ෂයේදී මොන්ට්‍රියල් සම්මුතිය නිර්මාණය වන්නේද ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීම අරමුණු කොටගෙනය. මානව  ක්‍රියාකාරකම් හරහා වායුගෝලයට නිදහස් වන අහිතකර වායු සංඝටක, පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන ධ්‍රැව ආශ්‍රිත වා සුළි ධාරා නිර්මාණය වීමේ සංසිද්ධිය හරහා උත්තරධ්‍රැවයට සංක්‍රමණය වීම මෙම සිදුර නිර්මාණය වීමට හේතු වූ බව විද්‍යාඥයන් විසින් පවසනු ලැබිය. ඕසෝන් සිදුර මුළුමනින්ම යථා තත්වයට පත්වීම පෘථිවිය මත වෙසෙන සියලු ජීවීන්ට සුබදායී පුවතක් ලෙස ද අන්තර්ජාතික මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

ලොව අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ද ඇතිවී තිබෙන COVID 19 වසංගත තත්වයත් සමඟ එවැනි සුබවාදී පාරිසරික වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. ඒ අතර කර්මාන්තශාලාවලින් ද්‍රවමය අපද්‍රව්‍ය කැලණි ගඟට මුදානොහැරීම සහ මිනිස් ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවයද ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවසනු ලැබීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ප්‍රධාන වශයෙන් 60% ක ප්‍රතිශතයක් දායක වන්නේ රථවාහන වල පොසිල ඉන්ධන දහනයෙන් සිදුව වායු දුෂණයයි. COVID – 19 වසංගතය හේතුවෙන් මෙරට ඇඳිරි නීතිය පැනවීමත් සමග වායුගෝලයට වාහන දුම සහ දූවිලි අංශ ජනනය විම අඩු වී තිබේ.

තවද කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුළ පවත්නා තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කිරීමට ද හේතු වී ඇත. ඒ දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගෙන් හා අධික රථ වාහන ප්‍රමාණයකින් දිනපතා පිරී පැවැති නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශයන් මසකට පමණ අධික කාලයක් කිසිඳු ශබ්ද හා විෂ දුමෙන් මෙන්ම පරිසර හානි විවිධ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පැවැතීම නිසාවෙනි. නකල්ස් වනාන්තර පද්ධතිය පිහිටි අවට ගම්මාන මෙන්ම දුම්බර මිටියාවත ඇතුළු අනෙකුත් ප්‍රදේශවල පරිසර පද්ධතීන් ද  මේ දිනවල වෙනස්කම් රැසකට භාජනය වී ඇති බවත්, වෙනදට වඩා දැඩි ශීතලක් මෙන්ම සුන්දර පරිසර වටපිටාවක් නිර්මාණය වී ඇති බව හා නකල්ස් පරිසර පද්ධතිය තුළ මෙන්ම අවට ගම්මාන ආශ්‍රිතව විවිධ කුරුල්ලන් හා අනෙකුත් සතුන් නිදහසේ පරිසරය විදිමින් ඔවුන්ට රිසි සේ ගැවසෙමින් කාලය ගත කරන අයුරුද දැක ගන්නට හැකි බව නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පසුගිය දිනක පුවත්පතකට පවසා තිබුණි.

මෙම ලිපිය මඟින් විවර කිරීමට උත්සාහ දරනුයේ ඇති වී තිබෙන වසංගත තත්ත්වය යහපත් බව නොව මිනිසාගේ විවිධ අපරික්ෂාකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් කොතරම් දුරට පරිසර පද්ධතියන්ට බලපෑම් එල්ල කර ඇති ආකාරය හා මුළු ලොව පුරා මානව කටයුතු අකර්මන්‍ය වීමත් සමඟ පරිසර පද්ධති ලක්ව ඇති වෙනස්කම් වලින් මනාව නිරූපණය වන බවත්ය. මෙය “පරිසරය රැකුනොත් මිනිසා රැකේ” යන කියමන සපථ කරන්නෙකි.

සටහන: රංගනී කුරේ

Cover Image: Markus Spiske

No comments yet.

Leave a comment

Your email address will not be published.