කැලෑ ගිනිතැබීම් හා මහජනතාවගේ වගකීම

කැලෑ  ගිනි ගැනීමක් ලෙස හඳුන්වනු ලබන්නේ, තණ බිම්, පඳුරු සහිත භූමියක හෝ වනාන්තරයක පාලනයකින් තොරව එකවර ඇතිවන ගිනි ගැනීමකි. මෙම ගිනි ගැනීම් සාමාන්‍ය ව්‍යවහාරයේ “ලැව් ගිනි” ලෙස හඳුන්වනු ලබයි. මෙම ගිනිගැනීම් හේතුවෙන් ජෛව විවිධත්වයට දැඩි ලෙස  හානි පමුණුවනු ලබන අතරම  මෙමඟින් මිනිස් ජීවිත වෙතද තර්ජනයක් එල්ල විය හැකිය. මෙම කැලෑ  ගිනි ගැනීම් හෙවත් ලැව් ගිනි වර්ෂයේ ඕනෑම වේලාවක සිදුවිය හැකි නමුත් මෙය හට ගැනීමට උණුසුම්, වියළි කාලගුණය  ප්‍රධාන වශයෙන් හේතු වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් අධික උෂ්ණත්වයක් ඇති වන අතර  එහි ප්‍රතිඵලක් ලෙස වර්ෂාපතනය අඩු වේ.  මෙහිදී  භූමිය ක්ෂණිකව උණුසුම් වී, භූමියෙන් ජලය වේගයෙන් වාෂ්ප වේ.  එමෙන්ම  වාතය භූමියෙන් තෙතමනය ලබා ගැනීම හේතුවෙන් පස අධික ලෙස වියළීමට පත්වීමේ  ප්‍රතිඵලයක් ලෙස වියළි වෘක්ෂලතා එක මත එක ගැටීම හේතුවෙන් ස්වභාවිකව ලැව්ගිනි ඇතිවේ.  මෙය ලෝකයේ සෙසු රටවලට ගිම්හාන සෘතුවේදී දැකිය හැකි සාමාන්‍ය සිදු වීමක් වුවද මෙය ශ්‍රී ලංකාව වැනි රටවල් හට ආගන්තුක සිදුවීමක් ලෙස දැකිය හැකිය. එනම් මෙරට තුළ පැහැදිලිවම ගිම්හාන සෘතුවක් දැකිය නොහැකි බැවින් හා ශ්‍රී ලංකාව සමකාසන්න රටක් වීම නිසා වර්ෂය පුරා පැතිරුණු වියළි කාලගුණයක් දැකගත හැකි වීම නිසාවෙනි. ගෙවී ගිය කාලය තුළ නුවරඑළිය සහ නුවර ඇතුළු ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක් ආශ්‍රිතව  මෙම කැලෑ  ගිනි ගැනීම් සම්බන්ධ සිදුවීම් රාශියක් වාර්තා විය. මෙරට තුළ ඇතිවූ මෙම කැලෑ ගිනිගැනීම් වලට ප්‍රධාන හේතුව ලෙස මිනිසුන් විසින් සිදු කරනු ලබන අපරික්‍ෂාකාරී ක්‍රියාකාරකම් දැක්විය හැකිය.

මෙරට කැලෑ ගිනිගැනීම් පිළිබඳව  අවධානය යොමු කරන විට  ඒවා ඇති වීමට බලපාන ලද  හේතු කිහිපයක් දක්නට ලැබේ.  ඒවා අතර  දුම්වැටි පානය කර ඉවතට විසි කරන දුම්වැටි කොට හේතුවෙන් හා වගා  කටයුතු  සඳහා  හේන්  ගිනිතැබීම් කටයුතු නිසා එමඟින් ඇතිවන  ගින්න පාලනය කර ගැනීමට නොහැකිව ආසන්නව පිහිටි කැලෑවලට හෝ තෘණබිම් වලට  ගින්න පැතිර ගිය අවස්ථා බහුල ලෙස වාර්තා වේ. එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණින් ද කැලෑ ගිනිතැබීම් සිදු කිරීමට මිනිසා පෙළඹී ඇත. තවද, වර්තමානය වනවිට මෙරට තුළ ප්‍රචලිත වෙමින් පවතින කඳු තරණය කිරීමේ කටයුතු සඳහා ද බොහෝ විට මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ යොදා ගනු ලබන අතර එහිදී සිදු කරනු ලබන රාත්‍රී කඳවුරු වලදී වනාන්තර ආශ්‍රිත එළිමහන් ස්ථානවල දල්වනු ලබන ගිනි මැල ද මෙම කැලෑ ගිනි ගැනීම් ඇතිවීමට හේතු වී ඇත. තවද වන සතුන් දඩයම් කිරීමට දඩයම් කිරීමට මෙම වන ප්‍රදේශ  දඩයම්කරුවන් විසින් ගිනි තැබීම්  සිදු කර  ඒ හරහා සතුන් කැලෑ ප්‍රදේශවලින් ඉවතට ගෙන දඩයම් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබයි. මෙලෙස වන භූමි ආශ්‍රිතව සිදුවන කැලෑ ගිනිතැබීම් හේතුවෙන්  ජල මුලාශ්‍ර සිදී යාමේ අවධානමක්ද පවතී.

ශ්‍රී ලංකාව තුළ වර්තමානය වනවිට නිවර්තන වියළි වනාන්තර ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන  මෙම කැලෑ ගිනිගැනීම් මෙරට වන විනාශය සිදු වීමට  බලපානු ලබන එක් ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය. මෙලෙස කැලෑ ගිනි ගැනීමක් ඇති වූ විට අක්කර ගණනක ගස් හා වෘක්ෂලතාදිය විනාශ වේ. දශකයක පමණ කාලයක සිට මෙරට තුළ සෑම වසරකම පාහේ විවිධ වනාන්තර ප්‍රදේශවල කැලෑ ගිනිගැනීමක් දක්නට ලැබෙන අතර එමඟින් පසේ සාරවත් බව, ජෛව විවිධත්වය හා පරිසර පද්ධති යනාදියට හානි සිදුවීමට මෙන්ම ඇතැම් වනාන්තරවල ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටීමට ද හේතු වී ඇත. ශාක මඟින් මිනිසා ආශ්වාස කරනු ලබන වාතය  පිරිසිදු කරනු ලබයි.  මෙම ක්‍රියාවලිය  සිදුවනු ලබන්නේ ශාක පත්‍ර මඟින් කාබන් ඩයොක්සයිඩ්, හරිතාගාර වායු සහ වායු අපද්‍රව්‍ය  අවශෝෂණය කර ඔක්සිජන් මුදා හැරීමෙනි.  මෙලෙස  කැලෑ ගිනි ගැනීම් හේතුවෙන් ශාක ප්‍රජාව විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස වාතයේ ගුණාත්මකභාවය හීන වී, වායුගෝලයේ හරිතාගාර වායුව වැඩි වන අතර දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ලබයි. මීට අමතරව මෙම කැලෑ ගිනිගැනීම්  හේතුවෙන් විශාල ප්‍රදේශයක් වසා පවතින  අධික දුමාරය වායු දුෂණයට ද හේතු  වේ.

සාමාන්‍යයෙන් මෙරට තුළ කැලෑ ගිනිගැනීම් වාර්තා වනුයේ  ජූලි සිට  අගෝස්තු  යන කාල පරාසය තුළ වුවද  මේ  වර්ෂයේ  රට තුළ පවත්නා උෂ්ණාධික කාලගුණය  හා ඇතැම් ප්‍රදේශයන් හි ජනතාවගේ අපරික්‍ෂාකාරී ක්‍රියාකාරකම් ද කැලෑ ගිනිගැනීම් වැඩි වීමට හේතු වී ඇත.

මෙම වසරේ ගෙවී ගිය ජනවාරි – මාර්තු කාල සීමාව තුළ පමණක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කැලෑ ගිනිගැනීමේ සිදුවීම් 129ක් පමණ වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනු ලබයි. ඒවා අතර, හැටන් සින්ගිමලේ රක්ෂිතය ආශ්‍රිතව මෙන්ම රඹුක්කන හා ඇල්ලේගල කඳු පන්ති ආශ්‍රිතව ඇති වූ කැලෑ ගිනිගැනීම් දැක්විය හැකිය. මෙයින්  සින්ගිමලේ රක්ෂිතය ආශ්‍රිතව අක්කර 25ක පමණ ප්‍රමාණයක් හා රඹුක්කන හා ඇල්ලේගල කඳු පන්ති ආශ්‍රිතව අක්කර 10ක පමණ වන භූමි ප්‍රමාණයක් විනාශ විය.

එපමණක් ද නොව, මෙම වසරේ මාර්තු මස බදුල්ල දිස්ත්‍රික්කය තුළ විශාල කැලෑ ගිනිගැනීමේ සිදුවීම් දෙකක් වාර්තා විය. එයින් එක් ගිනිගැනීමක් ඇල්ල මඩුගස්තලාව කන්දේ  විශාල වශයෙන් පැතිරී ගිය අතර අනෙක කිරවනාගම පතහා ගෝනගල කන්ද කැලෑ රක්ෂිතය තුළ පැතිරී ගියේය. මෙම ප්‍රදේශ දෙක තුළ හටගත් කැලෑ ගිනිගැනීම් බෑවුම් සහිත ස්ථානවල අක්කර ගණයක් පුරා පැතිරී යාම හේතුවෙන් ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. මෙයින් ඇල්ල මඩුගස් තලාව තුළ හටගත් ගින්න නිවීම සඳහා උමාඔය ව්‍යාපෘතියේ ගිනි නිවන ඒකකයේ  සහාය ද  ලබාගැනීමට  සිදුවිය.

තවද, පසුගිය වසරේ අගෝස්තු මස බදුල්ල දිස්ත්‍ක්කයේ ඇල්ල කඳුකරයේ හටගත් කැලෑ ගිනිගැනීම රාවණා ඇල්ල ප්‍රදේශය හා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර කණුව දක්වා පැතිරී ගියේය.  මෙම ගින්න හේතුවෙන් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය වෙත ගල් පෙරළී යාමෙන්  එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ද බාධා ඇතිවිය.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල කඳුකර ප්‍රදේශයේ හා මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන කඳු පන්තිය ආශ්‍රිතව නිරතුරුවම හටගනු ලබන මෙම කැලෑ ගිනිගැනීම් හේතුවෙන් වසරකට විශාල ප්‍රමාණයක වන ආවරණයක්  අප රටට අහිමිව යාම අවාසනාවට කරුණකි.

මෙම කැලෑ ගිනිගැනීම් වර්තමානය වන විට විශේෂයෙන් ඌව පළාත ඌව පළාත හා මධ්‍යම පළාත ආශ්‍රිතව බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන වලට  අනුව,  ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම කැලෑ ගිනිගැනීම්  50 ත් 200 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ලබන අතර  2016 සිට 2019 දක්වා කාලය තුළ මීට අදාළ සිදුවීම් 673 ක් වාර්තා වී ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව කැලෑ ගිනිගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 5619 ක පමණ වන භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇත.

මේ සම්බන්ධව පවත්නා නෛතික රාමුව පිළිබඳව විමසා බැලීමේදී, කැලෑ ගිනිතැබීම යන වරදට මෙරට නීතියෙන්  2009 අංක 65 දරන කැලෑ සංශෝධන පනත් ප්‍රකාරව දැඩි දඬුවම් නියම කර ඇත. ඒ පහත අයුරිනි.,

  • 7(1)(අ) වගන්තිය යටතේ, යම් රක්‍ෂිත වනාන්තරයකට අනවසරයෙන් ඇතුළු වීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස දක්වා තිබේ.
  • 7(1)(ඌ) වගන්තිය යටතේ, යම් ගින්නක් දල්වන, දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩ හරින හෝ ඇවිළෙන්නට සලස්වන හෝ පැතිර යෑමට ඉඩ සලස්වන හෝ යම් ගින්නක් රැගෙන යන හෝ තැනැත්තෙකු වරදකරුවෙකු වේ.
  • 7(1) වගන්තිය යටතේ, ඉහත සඳහන් චෝදනා දෙකකට වරදකරු වන තැනැත්තන්නට රුපියල් විසිදහසත්, ලක්‍ෂ දෙකත් අතර දඩයකට හෝ වසර පහක් දක්වා සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකම මඟින් හෝ දඬුවම් ලැබිය හැකිය. එසේම මෙම දඬුවම්වලට අමතරව වනයට කරන ලද අලාභයට දඩයක් අයකර ගත යුතු බවද පනතේ දක්වා ඇත.

තවද,

  • 7(2) වගන්තිය ප්‍රකාරව ඉහත 7(1) වගන්තිය මඟින් දක්වා ඇති කැලෑ ගිනි තැබීම සම්බන්ධ වරදකට අනුබල දෙන තැනැත්තන්ද වරදකරුවන් ලෙස දක්වා ඇති අතර, ඔවුන්වද ඉහත සඳහන් දඬුවම්වලට යටත් කර ඇත.

ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂක, රක්ෂිත , සංරක්ෂිත හා රක්ෂිත වලට අයත් නොවන ලෙස කොටස් තුනකට බෙදා ඇති අතර මෙරට භූමි ප්‍රමාණයෙන් 29.7% ක ප්‍රමාණයක වන ආවරණයක් දැකිය හැකිය. වන  ආඥා පනත යටතේ මෙරට වනාන්තර වලට උපරිම නීතිමය ආරක්ෂාව සලසා දී ඇති අතර එමඟින් පස, ජලය, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට හා වනාන්තර ආරක්ෂා කර කළමනාකරණය කිරීමට අවශ්‍ය බලය නිත්‍යානුකූලව ලබා දී ඇත. විශේෂයෙන් වන ආඥා පනත යටතේ වැඩිම දඬුවම් නියෝග වී ඇත්තේ  කැලෑ  ගිනි තැබීමට එරෙහිවයි. මෙහිදී නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම  කැලෑ ගිනිතැබීම් වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත්ය.

වනාන්තර ආශ්‍රිතව දුමක් හෝ ගින්නක් දුටුවහොත් ඒ සම්බන්ධව පොලීසිය, ග්‍රාම නිලධාරීවරුන් හා අඳාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මහජනතාව වන අපගේ වගකීමකි.  එමෙන්ම මේ වන විට කැලෑ ගිනිගැනීම් පාලනය උදෙසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව ඒකකයක් ද පිහිටුවා ඇත. ඒ අනුව මහජනතාව ලෙස මේ දිනවල පවත්නා උෂ්ණාධික  කාලගුණ තත්ත්වය හේතුවෙන් අවට පරිසරය පිළිබඳව සෑම විටම විමසිල්ලෙන් සිටීම අතිශය වැදගත්ය.

 

~රංගනී කුරේ (සීමාසහිත පාරිසරික පදනම)~

ජයාරූප: තරුෂි පිටිගල (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)

No comments yet.

Leave a comment

Your email address will not be published.