ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂ ලෙස හඳුන්වන්නේ ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරනු ලබන වෙනත් භූගෝලීය ප්‍රදේශවලින් පැමිණි ජීවී විශේෂ වේ. නැතහොත් හඳුන්වාදීමකින් හෝ අහම්බෙන් හෝ තම ස්වභාවික වාසස්ථානයෙන් බැහැර ප්‍රදේශයක ව්‍යාප්ත වී, එහි ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවී විශේෂ ලෙස ඒවා දැක්විය හැකිය. මේවා විශාල ගස්, පැළෑටි, පඳුරු, වැල් යනාදී වශයෙන් දැකගත හැකිය. කෘෂිකාර්මික ඉඩම්, වන වගා, ස්වභාවික වනාන්තර, අතහැර දැමූ ප්‍රදේශ, මාර්ග දෙපස මෙන්ම අභ්‍යන්තර ජලාශ, දිය පහරවල්, ඇළ වේලිවල හා ඇතැම් කරදිය ප්‍රදේශවල ද මේ විශේෂ පැතිරි යා හැකිය.
ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවද ජෛව විවිධත්වයෙන් ඉතාමත් පොහොසත් රටකි. එහෙත් මෙම ස්වභාවික සම්පත ආක්‍රමණශීලි ආගන්තුක විශේෂයන් හේතුවෙන් තර්ජනයට ලක්වෙමින් පැවතීම අවාසනාවට කරුණකි. මෙම ජීව විශේෂ වේගයෙන් වර්ධනය වෙමින් ඉතා තරගකාරී ලෙස දේශීය විශේෂ ආක්‍රමණය කරනු ලබන අතර දේශීය විශේෂ ඉවත් කර පරිසර පද්ධතිය වෙනස් කිරීමකට ද ලක් කරයි. මෙමඟින් සිදුවන බලපෑම අතිවිශාල වන අතරම පරිසර හානිය, මානව සෞඛ්‍ය පරිහානිය මෙන්ම මිනිසාගේ ජීවනෝපායන්ට සහ ආර්ථිකයටද බලපෑම් එල්ල කරනු ලබයි.
ගඳපාන (Lantana camara)
Image Credits – www.highwaymail.co.za
ශ්‍රී ලංකාව තුළ ආක්‍රමණශීලි විභවයක් සහිත ශාක විශේෂ 32ක් මේ වන විට හඳුනාගෙන ඇත. මෙයට ප්රමුඛ ආක්රමණික විශේෂ සහ ආක්‍රමණශීලි විභවයක් ඇති විශේෂ ද ඇතුළත් වේ. මෙම ආක්රමණික ශාක විශේෂ විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. එනම් විසිතුරු පැලෑටි ලෙස උද්භිද උද්‍යානයන්ට හඳුන්වා දීම, පර්යේෂණ කටයුතු සඳහා, පාංශු ඛාදනය වැලැක්වීමට හා සත්ත්ව ආහාර ලෙස මෙරටට මෙම ආක්‍රමණශීලි විශේෂ හඳුන්වා දී ඇත.
එමෙන්ම ආක්රමණික හෝ ආගන්තුක ශාක විශේෂයන්ගේ ව්‍යාප්තිය රටෙන් රටට වෙනස් විය හැකිය. අපේ රටට මේවා ආගන්තුක ආක්‍රමණශීලි වුව ද වෙනත් රටවලට එසේ නොවිය හැකිය. ඒ එක් එක් රටවල පවතින දේශගුණ, පාරිසරික තත්ත්වයන් ආදිය සමඟ ඒවා වෙනස් විය හැකි බැවිනි.
මෙම ශාක විශේෂ ස්වභාවික පරිසරයෙන් පිටතදී ආක්‍රමණශීලී වන බවට දිගු ඉතිහාසයක් ඇති අතර විවිධ පරිසර පද්ධතිවල විශාල ලෙස ව්‍යාප්ත වී ඇත. එමෙන්ම මෙම ශාක ඉතා සීග්‍රයෙන් වර්ධනය වන අතර ඉක්මනින් පරිණතභාවයට ද පත් වේ. තවද මෙම විශේෂයන්ට කටුක තත්වයන් දරා ගත හැකිය. (උදා: ජලය නොමැතිව දිගු කාලයක් සිටීමට හැකිවීම හා කටුක පරිසර තත්වයන්ට ඔරොත්තු දීම සඳහා විවිධ අනුවර්තන තිබීම) ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂයන් මඟින් දැකිය හැකි විශේෂතම ලක්ෂණය නම් දේශීය විශේෂ අතික්‍රමණය කීරීමට ඇති හැකියාවයි. ඒ හේතුවෙන් දේශීය විශේෂ වඳ වී යාමේ තර්ජනයට ද මුහුණපානු ලැබේ.
ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂයන් ලෙස කළපු අන්දර (Prosopis juliflora), සැල්වීනියා (Salvinia molesta), ජපන් ජබර (Eichhornia crassipes), ගිණිතණ (Panicum maximum), ගල් පාලු/ගල් ගොරකා (Clusia rosea), හම්බුපත් (Typha angustifolia), ගඳපාන (Lantana camara), වෙල් ආතා (Annona glabra), සුද්දා (Austroeupatorium inulifolium), පර (Dillenia suffruticosa), අගමුලනැති වැල (Cuscuta campestries), හවරි නුග (Alstonia macrophylla), ඉපිල් ඉපිල් (Leucaena leucocephala), කටකළු බෝවිටියා (Clidemia hirta), පාතීනියම් (Parthenium hysterophorus), යෝධ නිදිකුම්බා (Mimosa pigra), කටු පතොක් (Opuntia dillenii), යුලැක්ස් (Ulex europaeus), කහ කරාබු (Sphagneticola trilobata), මල් බටු (Cestrum aurantiacum) යනාදිය දැක්විය හැකිය.
(මූලාශ්‍රය – ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ “ආක්රමණික ආගන්තුක විශේෂයන් හඳුන්වාදීම හා ව්‍යාප්තිය පාලනය කිරීම හැකියාව සවිමත් කිරීමේ ව්‍යාපෘතිය” යටතේ නිකුත් කරන ලද අත් පත්‍රිකාව)
කළපු අන්දර (Prosopis juliflora)
Image Credits – www.alchetron.com
ඉහත දක්වන ලද ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂ අතුරින් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි ප්රමුඛ ආක්‍රමණශීලි ශාක විශේෂයන් ලෙස ජපන් ජබර (Eichhornia crassipes), ගඳපාන (Lantana camara), හා කටු පතොක් (Opuntia dillenii) යන විශේෂයන් දැක්විය හැකි අතර මෙම ශාක විශේෂයන්ගේ විශේෂ ලක්ෂණ පහත පරිදිය.
ජපන් ජබර ශාකය ජලය මත නිදහසේ පාවෙන ජලජ ශාකයකි. ශාක දේහයේ තන්තුමය මුල්ද කොටස්වලින් නව ශාක බිහිකරන ධාවකයන්ද වර්ධනය වෙයි. දිග නටුවක් මත වැඩෙන පුෂ්ප ලා නිල් පැහැයක් ගනී. මෙම ශාකයේ නිජබිම වන්නේ බ්‍රසීලය සහ අනෙකුත් දකුණු ඇමෙරිකානු රටවල්ය. මෙම ශාකය විසිතුරු පැලෑටියක් ලෙස හොංකොං හි සිට ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1905 වසරේදීය. වසර පුරා වැවෙන මෙම වල් පැළෑටිය ඝන, විශාල, නිදහසේ පාවෙන ඒකජාතීය දූපත් හෝ පලස් ලෙස සකස්වන නිසා අනෙකුත් ජලජ විශේෂයන්ට ආලෝකය, පෝෂක සහ ඔක්සිජන් සඳහා තරග කිරීමට සිදුවේ. ශාකය නිසා ජලයේ උෂ්ණත්වය, pH අගය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩු කරන. මෙලෙස ඔක්සිජන් අඩුවීම නිසා බොහෝවිට මත්ස්‍යයින් මියයෑම සහ අපද්‍රව්‍යයන් විනාශ කිරීමට ජලයේ ඇති හැකියාව අඩුවීම සිදුවන නිසා දූෂිත ගඳගසන තත්ත්වයක් ඇතිවේ. එමෙන්ම ජල ප්‍රවාහන මාර්ග සහ ජල බැස්ම අවහිර කිරීමත්, එම නිසා සිදුවන ජලගැලීම් ඇතිවීම වැනි බලපෑම් රැසක් ජපන් ජබර විශේෂය නිසා සිදු වේ.
ගඳපාන ශාකය යනු, මීටර් 4ක් පමණ උසකට වර්ධනය විය හැකි ඉක්මනින් වැඩෙන පඳුරකි. තද කොල පැහැති පත්‍ර රළුය සියුම් බූව සහිතය, කරපති්රක දාරයකි, අතින් පොඩිකළ විට සැර සුවඳක් ඇත. පොකුරක පුෂ්ප 20-40ක් පමණ ඇත. වර්ණය සුදු, කී්රම්, කහ, තැඹිලි, දම් හෝ රතු වශයෙන් විවිධ වේ. ශී‍්‍ර ලංකාව පුරා පැතිර ඇති ආක්රමණික විශේෂයක් වන මෙය විවෘත ඉඩ සහිත ස්වාභාවික පරිසර පද්ධතීන් ආක්‍රමණය කර ඇත. පුරන්ව ගිය ඉඩම්වල මෙම විශේෂය ඝනව වැඞී ඇත. එමෙන්ම මෙම ශාකය වන වගා භූමි ආක්‍රමණය කර ඇති අතර ස්වභාවික වනාන්තරවල දේශීය ශාකවල ස්වාභාවික පුනර්වර්ධනයට බාධා කරමින් එම වනාන්තර වල තත්ත්වය පහත හෙලා ඇත.
ජපන් ජබර (Eichhornia crassipes)
Image Credits – Feedpedia
තවද මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව හා කැරිබියන් දූපත් ආශ්රිත ප්‍රදේශ නිජබිම කරගත් කටු පතොක් ශාකය ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවක ආක්රමණික ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. ශුෂ්ක කලාපයේ වැලි සහිත පොලොවේ වැවෙන මෙම ශාකය ලංකාවේ බූන්දල සිට හම්බන්තොට හරහා යාල වනෝද්‍යානය දක්වා ප්‍රදේශවල පැතිර පවති. ඝණව ගාල් ලෙස වැවෙන නිසා මිනිසුන්ට හා සතුන්ට කටුපතොක් ගාල් ඇති ප්‍රදේශවල ගමන්කල නොහැකිය. කහපාට මලකින් හටගන්නා ගෙඩිය මිහිරි රසයෙන් යුතුය. රිළවුන් මෙම ගෙඩි ප්‍රිය කරන අතර ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදු වන්නේ රිළවුන් හරහාය.
ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයන් හේතුවෙන් සිදුවන බලපෑම අතිමහත්ය. මෙම ජීවීන් රටක පරිසර පද්ධති වෙනස් කරන අතර ජෛව විවිධත්වය අඩු කරයි. එමඟින් ස්වභාවික පරිසර පද්ධතිවල පාරිසරික අගය අඩු වේ. දේශීය විශේෂ සමඟ මුහුම් වීමේ හැකියාව මොවුන් සතු නිසා දේශීය ජාන සංයුතිය විකෘති වීමක්ද සිදුවේ. එපමණක් නොව මොවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකරන අතර සමහර ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් මිනිසාගේ ජීවිතයටද දැඩි තර්ජනයකි. මෙම ශාක වනාන්තර තුළ ගිනි ගැනීම් හට ගැනීමටද හේතු වේ. ජලාශ, අමුණු, ඇළවල්වල ජල බැස්ම අවහිර කිරීමද සිදුවේ. මෙලෙස ආගන්තුක හෝ ආක්‍රමණශීලි ශාක අනවසරෙන් මෙරටට ගෙන්වීම මඟින් විශාල බලපෑමක් සිදුවන අතර, මොවුන් මෙරට ස්ථාපනය වූ පසු පාලනය කිරීම හා කළමනාකරණය දුෂ්කර වනවා මෙන්ම විශාල පිරිවැයක් දැරීමට ද සිදුවේ.
වෙනත් රටවලින් මෙරටට ශාක ගෙන්වීම “පැලෑටි ආරක්ෂණ පනත” (Plants Protection Act) නැමැති නීතිය යටතේ සිදුවේ. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ. ශාකයක් මෙරටට ගෙන්වීමට අවසර ඇත්තේ මේ පනත යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බලපත්‍රයක් ඇත්නම් පමණි. එලෙස ශාක ආනයනය කළත්, ඒ සඳහා කොන්දේසි ගණනාවක්ද පනවා තිබේ. එහිදී ඒවා අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුය. ගුවන් තොටුපොළේදී ගුවන් භාණ්ඩ ගෙන්වන පර්යන්තයේදී ජාත්‍යන්තර නිරෝධායන කොන්දේසිවලට යටත්ව මේවා පරීක්ෂාවට ලක්කරනු ලබයි. එතැනදී අනුමැතිය ලබාදීම හෝ නොදීම, අනවසරෙන් ගෙන්වන ශාක අත්අඩංගුවට ගැනීම ආදිය සිදු කෙරේ. මෙලෙස අවස්ථා කිහිපයකදීම පරීක්ෂාවට ලක්කර, අදාළ කොන්දේසිවලට යටත්ව අනුමැතිය ලබාගැනීමෙන් පසුව ශාක ගෙන්විය හැකිය. ශාකයක් ගෙන්වන විට එම ශාක සමඟ පස් වැනි කිසිදු අමුද්‍රව්‍යක් ගෙන්විය නොහැකිය.
ආනයන සහ අපනයන පාලක පනත, රේගු ආඥා පනත, වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක පනත, ධීවර හා ජලජ සම්පත් පනත, පැලෑටි ආරක්ෂක පනත හා වන සංරක්ෂණ ආඥා පනත යන අණ පනත් මඟින් මෙරටට ආක්‍රමණශීලි ආගන්තුක ශාක ආනයනය කීරීම නීතියෙන් තහනම් කර ඇත. ශ්‍රී ලංකාව තුළ තිබෙන ආක්‍රමණශීලි ශාක විශේෂ (IAS – Invasive Alien Species) නිවැරිදිව හඳුනාගැනීම හා එමඟින් සිදු කරනු ලබන විනාශය පිළිබඳව අධ්‍යනය කීරීම, තම ගෙවත්තේ හඳුනාගත් ආක්‍රමණශීලි ආගන්තුක ශාක වෙනත් ප්‍රදේශ වලට ව්‍යාප්ත වීමට පෙර භූමියෙන් ඉවත් කීරීම හා ඉවත් කිරීමේදී නිවැරිදි ක්‍රමවේදයන් අනුගමනය කීරීම, ආක්‍රමණශීලි ආගන්තුක ශාක හඳුනාගැනීමේ අවිනිශ්චිතභාවයක් හෝ ගැටලුවක් ඇත්නම් අදාළ ආයතන හෝ බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීම හා ප්‍රාදේශීය වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ආක්‍රමණශීලි ආගන්තුක ශාක පාලනය කීරීමට හා කළමනාකරණයට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා නොමඳ සහයෝගය ලබාදීම මඟින් මෙම ශාක විශේෂයන් ශ්‍රී ලාංකීය පරිසර පද්ධති තුළ පැතිර යාම පාලනයට මහජනතාව වශයෙන් අප සැමට දායක විය හැකිය.
එමෙන්ම අදාළ බලයලත් ආයතන හරහා මූලික පරික්ෂා කිරීමකින් තොරව විසිතුරු පැලෑටි / බීජ විදේශ රටවල සිට ගෙන ඒම, ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂ ව්‍යාප්ත කීරීම, වගා කීරීම හා ප්‍රවාහනය කීරීම, ගෙවත්තෙන් හෝ අවටින් ඉවත් කරන ලද ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂ මාර්ග අසළ හෝ වෙනත් භූමි ප්‍රදේශ හා මුඩු බිම් ප්‍රදේශවල දැමීම, විවෘත බිම් ප්‍රදේශවල හෝ ස්වභාවික පරිසරවල තිබෙන ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂ මර්ධනය කීරීම සඳහා වල් පැලෑටි නාශක, පළිබෝධනාශක, දිලීරනාශක සහ වෙනත් විෂ වර්ග නියමිත අවසරයකින් තොරව භාවිතා කීරීම වැනි ක්‍රියාකාරකම් තුළින් වැලකී සිටීමට කටයුතු කිරීම ද පුරවැසියන් වන අප සැමගේ වගකීමකි.
සටහන – රංගනී කුරේ
No comments yet.