විල්පත්තු ජාතික වන උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි පැරණිතම ජාතික වනෝද්‍යානය ලෙස දැක්විය හැකිය. මෙම වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. වර්තමාන විල්පත්තු ජාතික වනෝද්‍යානය කොටස් පහකින් යුතු උද්‍යාන සංකීර්ණයක් ලෙස දැකිය හැකිය. එමෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභයභූමිය සහ වීරක්‌කුල්චෝලේ-එළුවන්කුලම රක්‍ෂිතය වැනි වනාන්තර හා සමඟ ද සම්බන්ධ වී පවතී. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1.5ක පමණ උසකින් පිහිටා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් මල්වතුඔය හා මෝදරගම්ආරු ද, දකුණින් කලාඔය ද, බටහිරින් කුඩා ගල් පර්වත සහිත තැනිතලා බිමක් හා වෙරළ තීරයක් ද, නැඟෙනහිරින් හුනුවිලගම, විලච්චිය, තන්තිරිමලේ යන ගම්මාන යානාදියට මායිම්ව පිහිටා ඇත.
© Zaineb Akbarally
එමෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ ඉතා ඉහළ ජෛව විවිධත්වයක් දැකිය හැකිය. 2006 වර්ෂයේදී වනෝද්‍යානය තුළ සිදු කරන ලද සමීක්ෂණයකදී පවුල් 101 කට අයත් සත්ත්ව විශේෂ 284ක් හමු වී ඇති අතර ඒ අතුරින් මෙරටට ආවේණික විශේෂ 21ක් සහ ජාතික වශයෙන් තර්ජනයට ලක් වූ විශේෂ 30ක් වාර්තා වී ඇත.
විල්පත්තු ජාතික වනෝද්‍යානය පාරිසරික වශයෙන් පමණක් නොව පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත්කමක් උසුලනු ලබයි. පුරාණ නගරයක් වන අනුරාධපුරයට සමීපව පිහිටා තිබීම හා ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පොම්පරිප්පුව නම් ප්‍රදේශය තුළින් ඉපැරැණි සුසාන භුමියක සලකුණු හමු වීම තුළින් මෙම වනෝද්‍යානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ද ඉතා ඉහළ අගයක පවතී.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිට මන්නාරම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පරිවාර රක්ෂිත වනාන්තර කිහිපයක නිවාස ඉදිකිරීම පසුගිය කාලයේ මෙරට තුළ මහත් ආන්දෝලනයකට හේතු විය. විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ආරු වනාන්තරය හෙවත් මරිච්චුක්කඩ්ඩෙයි කරඩික්කුලි වන රක්ෂිතය සැලකෙන්නේ විල්පත්තුව හා බැඳී පවතින පරිවාර වනාන්තර පද්ධතියක් ලෙසය.
1988 සිට 2009 දක්වා කාල සීමාව තුළ විල්පත්තු ජාතික වනෝද්‍යානය මහජනයා සඳහා වසා දමන ලද අතර එම ප්‍රදේශය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ LTTE අතර යුධ කටයුතු සඳහා භාවිතා විය. එමෙන්ම 1988 දී මන්නාරමේ සිට පූනරීන් දක්වා වූ A32 මාර්ගය ද ආරක්ෂක හේතූන් මත වසා දමන ලදී. 2009 වර්ෂය වන විට නැවතත් විල්පත්තු වනෝද්‍යානය වසා දැමු අතර 2010 වසරේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් 30 වසරක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසු නැවත මහජනයා හට විල්පත්තු ජාතික වනෝද්‍යානය විවෘත කරන ලදී.
2010 වසරේ සිට 2013 වසර දක්වා නීතිවිරෝධි ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටු වීමේ ක්‍රියාවලියට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නීත්‍යානුකූල මුහුණු වරක් ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඊට හේතු වූයේ මෙම නීති විරෝධී පරිසර විනාශකාරී ක්‍රියාවලින්ට එරෙහිව පරිසරවේදීන් විසින් දැඩි හඬක් නැගීමයි. මෙලෙස විල්පත්තු වනෝද්‍යානය තුළ ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට යමින් යුද්ධය නිම වීමෙන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ අනවසර මාර්ගයක් මහජනයාට විවෘතව පවතින බව දැකගත හැකිය.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ පාලනය යටතේ පැවති කාලය තුළදී නාවික හමුදාව විසින් විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මාර්ග දෙකක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. මෙයින් එක මාර්ගයක් බටහිර වෙරළ තීරයේ දිගේ සහ අනෙක නැගෙනහිර දෙසට වනෝද්‍යානය හරහා දිව යයි. මෙම මාර්ගයන්ගේ ඉදිකිරීම් සිදුවන විට වනෝද්‍යානය නරඹන්නන් හට වසා තිබූ හෙයින් මෙම මාර්ගයන්හි ඉදිකිරීම් කටයුතු කරනු ලැබූ කාලය නිශ්චිතවම කිව නොහැකිය. එමෙන්ම වනෝද්‍යානය හරහා නැගෙනහිර දෙසට දිව යන කිලෝමීටර 35ක පමණ දිගකින් යුත් මාර්ගය මහජනතාව සඳහා විවෘත කරන ලද්දේ 2010.01.26 දින ය. මෙම සිදුවීම මාධ්‍යයට නිරූපණය කරන ලද්දේ “පුත්තලම්-මන්නාරම” මාර්ගය නැවත විවෘත කිරීමක් ලෙස ය. නමුත් ගුවන් ඡායාරූප හා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1984 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කර ඇති සිතියම් පිරීක්සා බැලීමේදී විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ එවැනි ප්‍රධාන මාර්ගයක් හෝ සුළු මාර්ගයක් තිබු බවට කිසිදු සාධකයක් හමු නොවේ.
ඒ අනුව මෙම වනෝද්‍යානය තුළ ඇති එකම මාර්ග සලකුණු කිරීම බොරළු පාරවල් සහ ජීප් රථ ගමන් කිරීමේ මාර්ග පමණක් බව මනාව පැහැදිලි වේ. මේ අනුව, නීතිවිරෝධී මාර්ග සංවර්ධනයට පාදක වූ ප්‍රධාන ගැටලුව ලෙස යුද සමයේදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් විල්පත්තු වනෝද්‍යානය යුධ කටයුතු සඳහා කිරීමේදී ඔවුන් භාවිතයට ගත් මාර්ගය 2010 වර්ෂයේ සිට පොදු මාර්ගයක් බවට පත්ව ඇති බව දැක්විය හැකිය.
වන විනාශය යනු, ශ්‍රී ලංකාව වර්තමානය වනවිට මුහුණ දී ඇති ප්‍රධාන පාරිසරික ගැටලුවක් ලෙස දැක්විය හැකිය . 1982 වසරේදී මෙරට වන ආවරණය 82% ක්ව පැවති නමුත් 2010 වර්ෂය වනවිට එය 29% දක්වා පහත වැටී ඇත. වන හා ශාක සම්පත් වලින් පොහොසත් ස්වාභාවික රක්ෂිතයක් වන විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා මෙවැනි මාර්ග ස්ථානගත කිරීමෙන් නීති විරෝධී කටයුතුවලට ඉඩ සලසනවා පමණක් නොව, බොහෝ විට පටු දේශපාලන අරමුණු මුල් කරගත් සාධකයන්ටද මංපෙත් විවර කරනු ලබයි. වන විනාශය, සතුන් දඩයම් කිරීම, නීති විරෝධී වැලි කැණීම සහ මසුන් ඇල්ලීම නැවැත්වීම සඳහා නීති පනවා ඇති නමුත් මෙම නීති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම වැරදිකරුවන් හට තම අභිමතය පරිදි මෙවැනි ක්‍රියාවන්හි නිරත වීමට රුකුළක් වී තිබේ. එමෙන්ම මෙම මාර්ගය හරහා ගමන් ගන්නා බස් රථ, ටැක්ටර්, යතුරු පැදි හා ත්‍රීවිල් රථ සොබාදහමට සහ වන ජීවීන්ට මුළුමනින්ම බාධාවක් වන අතර ඇතැම් අවස්ථාවන්හී දී දරුණු වන සත්ත්ව – මිනිස් ගැටුම් හා මාර්ග අනතුරු වලට පවා තුඩු දී ඇත.
මෙම නැගෙනහිර දෙසට වනෝද්‍යානය හරහා දිවෙන මාර්ගය හේතුවෙන් වනෝද්‍යානය දෙකට බෙදී ඇති අතර එම මාර්ගය බොහෝ විට අවස්ථාවන් වල වැසි සමයේදී ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් වර්ෂයේ අවම වශයෙන් මාස 3 සිට 4 දක්වා කාලයක් භාවිතා කිරීමට නොහැකි බව මෙහිදී සැළකිල්ලට ගත යුතුය. එබැවින් සෑම වර්ෂා කාලයකින්ම පසුව එනම් සාමාන්‍යයෙන් වසරෙන් අඩක පමණ කාලයක් මාර්ගය වසා දමා ඇති අතර මෙම කාල සීමාව තුළ වෙනත් විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවේ. එම නිසා වර්ෂා කාලයේදී විල්පත්තු වනෝද්‍යානය ජලයෙන් වැසී යනවාත් සමඟම මෙම මාර්ගය ද ජලයෙන් යට වන බව දැක්විය හැකිය.
එමෙන්ම මෙම අනවසර මාර්ගය හරහා විල්පත්තු වනෝද්‍යානය ආසන්නයේ පවතින ධීවර ගම්මානයන් වෙත පිවිසිය හැකි නිසා පාරම්පරිකව මුහුදෙන් පමණක් මෙම ගම්මානයන්ට පැමිණි පුද්ගලයන් වර්තමානයේදී මෙම මාර්ගය සිය ගමනාගමන කටයුතු සඳහා භාවිතා කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශය තුළ වන – සත්ත්ව කොල්ලය හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි නීතිවිරෝධී ක්‍රියාකාරම් ද සිදුවන බව දැක්විය හැකිය.
2009 අංක 22 දරන (සංශෝධිත) වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 අ (1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතැපුම් එකක සීමාවේ පිහිටි රජයේ හෝ පෞද්ගලික ඉඩමක වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු කළ නොහැකිය. මෙහිදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් සිය අනුමැතිය ලබාදීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියක් කීරීමට නිර්දේශ කළහොත් එහිදී සකස් කරන වාර්තාව දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා දින 60 ක කාලයක් හා වනජීවී උපදේශක කමිටුවේ අදහස් සඳහා ද විවෘත කර තැබිය යුතුය. එම සියලු තත්ත්වයන් සැලැකිල්ලට ගෙන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ සංවර්ධන කටයුතු කිරීම සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරනු ලබයි. මේ අයුරින් ජාතික වනෝද්‍යානයක සිදු වන සංවර්ධන ක්‍රියා පාලනය කර ඇත්තේ එමඟින් වනෝද්‍යානයේ ජෛව ප‍්‍රජාවට ඇති විය හැකි බලපෑම් පාලනය කිරීම සඳහාය. නමුත් එම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ග ඉදිකිරීමට කටයුතු කිරීම නීති විරෝධී හා ඉතාම හානිකර තත්ත්වයකි.
තවද වර්තමානය වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කිසිඳු අනුමැතියකින් තොරව මෙම මාර්ගයට තාර දමා දෙපස සංඥා පුවරු කණු පිහිටුවා තිබීම මඟින් පැහැදිලි වනුයේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු තවදුරටත් සිදුවන බවයි. එමෙන්ම මෙම මාර්ගය බස් රථ විසින් බස් මාර්ගයක් ලෙසද භාවිතා කරනු ලබන ආකාරය දැකගත හැකිය. මෙය වනජීවී හා පරිසර පද්ධති සංරක්ෂණය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන කෙටි කාලීන ප්‍රතිලාභ සහ මූල්‍යමය වටිනාකම් ගෙනෙන දේවල් පසුපස පමණක් හඹා යන මෙරට බලවතුන් පිළිබඳව කෙරෙනු ලබන පැහැදිලි අර්ථ නිරූපණයකි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය වැඩි වශයෙන් යොමු නොවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මාධ්‍යවේදීන් හට එල්ල වී ඇති දේශපාලන බලපෑම්ය. ඒ නිසාවෙන් ඔවුන් ඒ පිළිබඳව වාර්තා නොකිරීම හේතුවෙන් මේ පිළිබඳව ජනතාවගේ අවධානයට යොමු වී නොමැති නිසා මෙම මාර්ග හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට සිදුවන හානිය පිළිබඳ නිසි අවබෝධයක් ඔවුන් තුළ නොමැත.
මෙම මාර්ග තිබීමෙන් අපගේ කාර්යබහුල ජීවිතයට තාවකාලිකව පහසුවක් අත් වුවද, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට හානි වීම තුළින් වීමෙන් ඇති වන දිගු කාලීන ප්‍රතිවිපාක පිළිබඳව මීට වඩා සැළකිලිමත්ව කටයුතු කිරීම ලංකාවාසී පුරවැසියන් වන අප සැමගේම වගකීමකි.
Cover Image – © Zaineb Akbarally
No comments yet.