කර්තෘ: කුමුදිකා පෙරේරා
උධෘතය: මහජනතාව ව්‍යාපෘති යෝජනා සමඟ සම්බන්ධවන විට ඔවුහු ඔවුනොවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින්, තර්ක කරමින්, භෞතික සංවර්ධනයේදී අනුගමනය කළ යුතු ගුණධර්ම පිළිබඳව සංවාදයක යෙදෙයි.
සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව, ‘පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ (EIA) වාර්තාව’ යනු, යම්කිසි නියමිත ව්‍යාපෘතියක ආර්ථික හා පාරිසරික පිරිවැය–ප්‍රතිලාභ විමර්ශනයට ලක්කරන ලේඛනයකි. සංශෝධිත 1993 වසරේ ජුනි මස 24 වැනි දින දරන අති විශේෂ ගැසට් නිවේදන අංක 772/ 22 හරහා ‘නියමිත ව්‍යාපෘතීන්’ (Prescribed Projects) යනු කවරේ ද යන්න දක්වා ඇත. මේ සම්බන්ධයෙන් අදාල ‘ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන’ (Project Approving Agencies/ PAAs) සංශෝධිත 1995 වසරේ පෙබරවාරි මස 23 වැනි දින දරන අති විශේෂ ගැසට් නිවේදන අංක 859/ 14 මගින් දක්වා ඇත.
නීති මූලධර්ම කිහිපයක් මත EIA වාර්තාව පදනම් වී ඇත. ඒවා අතරින් ප්‍රජාතන්ත්‍රවාදය, නිවාරණ මූලධර්මය සහ තිරසාර සංවර්ධනය වැදගත් වේ. කෙටියෙන් කිවහොත්, EIA වාර්තාව, නියාමනයකින් තොරව සිදුකරන්නාවූ සංවර්ධන ව්‍යාපෘතිවලට බාධකයකි. එමගින් පරිසරයට, සමාජයට හිතකර සංවර්ධන ව්‍යාපෘතිවලට පමණක් මංපෙත් විවර වෙයි. පවත්නා නීති පද්ධතියට අනුව EIA වාර්තාව සකස් කිරීමේදී අනුගමනය කරන්නාවූ ක්‍රියාපටිපාටියට කොටස් කිහිපයකි.
- මූලික තොරතුරු එක්රැස් කිරීම
- පාරිසරික විෂය පථය නිර්ණය කිරීම (Environmental Scoping)
- මහජන අදහස් විමසීම
- නිසි තීරණය ගැනීම
- ව්‍යාපෘතියට පසු නියාමනය
බැලූ බැල්මටම මහජන අදහස් විමසීම ඉහත සඳහන් කළ ක්‍රියාපටිපාටියේ කොටස් සියල්ල කෙරෙහිම තදින් බැඳී පවතී.
‘මහජනතාව’ යනු කවුරුන් ද?
ස්වදේශික ජනතාව, ජන කොට්ඨාශයන්, කාන්තාවන්, තරුණ පරපුර හා රාජ්‍ය නොවන සංවිධාන ‘මහජනතාව’ ලෙසට සැලකිය හැකිය. ඒ අනුව අදාල ව්‍යාපෘතීන්වලින් බලපෑමට ලක්වන පාර්ශව එනම්; ව්‍යාපෘති ස්ථානයට ආසන්නව ජීවත්වන ගම්වැසියන් සහ ව්‍යාපෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශව; එනම් පරිසරය හා සම්බන්ධව කටයුතු කරන තැනැත්තන් ‘මහජනතාව’ යන වචනය මගින් අර්ථවත් වෙයි.
මහජන අදහස් විමසීම වැදගත් වන්නේ ඇයි?
මහජනතාව ව්‍යාපෘති යෝජනා සමඟ සම්බන්ධවන විට ඔවුහු ඔවුනොවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින්, තර්ක කරමින්, භෞතික සංවර්ධනයේදී අනුගමනය කළ යුතු ගුණධර්ම පිළිබඳව සංවාදයක යෙදෙයි. එහිදී පිළිගත හැකි අවදානම් මට්ටම්, සංවර්ධනයේ ආචාරධර්ම සහ පවත්නා දැනුමෙහි ඇති හිඩැස් පිළිබඳව මනා අවබෝධයක් මහජනතාවටත්, ව්‍යාපෘති යෝජකයන් (Project Proponents) හා PAAsවලටත් ලැබෙයි. අදාල පරිසරයේ වැදගත්කම, සංවේදීභාවය සහ සමාජයේ අවශ්‍යතා හා වුවමනා සැලකිල්ලට ගනිමින් මහජනතාව ගන්නා වූ තීරණ අන්තර්–පාරම්පරික සාධාරණත්වය පිළිබිඹු කරයි.
මහජන අදහස් කරළියට ගෙන එන සංවාද මණ්ඩප
පහත සඳහන් සංවාද මණ්ඩපවලට අමතරව, මධ්‍යම පරිසර අධිකාරිය මගින් මහජන අදහස් විමසීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව විස්තරාත්මක අත්පොත් ප්‍රකාශනයට පත් කර ඇත.
- කමිටු රැස්වීම්
- පාර්ලිමේන්තු විවාද
- මහජන කතිකාවන්
- නීති සම්පාදනය
- ව්‍යාපෘති සංවර්ධනය
- මාධ්‍ය විමර්ශන
- රෙගුලාසි නියාමනය
- නීති බලාත්මක කිරීම
- පසු-ව්‍යාපෘති නියාමනය
මහජන අදහස් විමසීමේ වර්තමාන තත්ත්වය
මෑත කාලයේ දී මහජනතාව EIA වාර්තා සඳහා මහජන අදහස් විමසීමේ ප්‍රයත්නයන්වලට අඩු සහභාගීත්වයක් දක්වයි. ඊට හේතු වශයෙන් කරුණු කිහිපයක් දැක්විය හැකිය. අඩු කාලය සහ තාක්ෂණික බාධා, මහජන අදහස් විමසීමෙන් ලැබෙන ප්‍රතිලාභ විස්තෘත වීම, EIA වාර්තා පරිශීලනය කිරීමට අවස්ථාව අඩු වීම මෙන් ම, බලධාරීතම ආයතන හා PAAs කෙරෙහි ඇති අඩු විශ්වාසය ඒ අතර වේ.
අන්තර්ජාතික සම්මුතීන් මගින් උගත හැකි පාඩම්
අන්තර්ජාතික සම්මුතීන් ආශ්‍රිතව කථා කරන කල්හි අන්තර්ජාතික සම්මුතීන් දෙකක් වැදගත් කොට දැක්විය හැකිය. එනම් එස්පූ 1991 (Espoo Convention) සහ ආහෙස් 1998 (Aarhus Convention) යන සම්මුතීන් ය. ශ්‍රී ලංකාව මෙම සම්මුතීන් ද්විත්වයට ම පාර්ශවකරුවකු නොවුන ද, රියෝ 1992 සම්මුතියේ (Rio Declaration on Environment and Development) පාර්ශවකරුවෙකි. එස්පූ සම්මුතියෙන් රියෝ සම්මුතියේ 17වන ප්‍රතිපත්තිය සහ ආහෙස් සම්මුතියෙන්, රියෝ සම්මුතියේ 10වන ප්‍රතිපත්තිය ද නිරූපණය වෙයි. එම නිසා ශ්‍රී ලංකාව ආහෙස් සහ එස්පූ සම්මුතීන්වලට පාර්ශවකරුවකු නොවුණ ද එම සම්මුතීන්වල ගැබ්වී ඇති ප්‍රතිගාමී චින්තනය ශ්‍රී ලංකාවට ද අනුකූල කරගත හැකිය.
- එස්පූ සම්මුතිය 1991
EIA වාර්තා පිළියෙල කිරීමේදී මහජන අදහස් විමසීම, එම ක්‍රියාවලියේ අග භාගයේ සිදු කිරීම මගින් මහජන අදහස් විමසීම ක්‍රියාවලියට එක් කිරීමේ මූලික අර්ථයම ගිලිහී යයි. එම නිසා scoping අවස්ථාවේ සිට ම මහජන අදහස් ලබා ගැනීම සිදු කළ යුතු ය. එමගින් සංවර්ධන ව්‍යාපෘතියකින් සිදුවිය හැකි පාරිසරික හා සමාජයීය බලපෑම් මැනවින් විශ්ලේෂණය කළ හැකිය. EIA වාර්තාවට අනුමැතිය ලැබුනායින් පසුව, පරිසර තත්වයේ සිදු වූ යම් වෙනස්කමක් වී නම් ඒ පිළිබඳව දැනුම් දිය යුතු සහ උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්වලට දැනුම් දිය යුතු ලෙසට උපරිම සද්භාවයේ වගකීමක් ව්‍යාපෘති යෝජකයන් වෙත පැවරිය යුතු ය. එසේ නොකළහොත් එම ව්‍යාපෘති යෝජකයන්ට දඩ මුදල් හෝ ව්‍යාපෘතියට වෙනස්කම් සිදු කරන ලෙස නියෝග කිරීමේ බලයක් බලධාරී ආයතනවලට ලබා දිය යුතු ය. ව්‍යාපෘති යෝජකයන් දැනට නොදන්නා පරිසර තත්ත්වයක් වේ නම් ඒ පිළිබඳව EIA වාර්තාවේ දැක්විය යුතු බවට මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කොට ඇත. නමුත් එසේ පැහැදිලිවම ව්‍යාපෘති යෝජකයන් තම දැනුමෙහි පවත්නා හිඩැස් පිළිබඳව දක්වා තිබේද නැද්ද යන්න, බලධාරී ආයතන ප්‍රත්‍යක්ෂ කරගත යුතු ය. මෙසේ කිරීමෙන් පරිපූර්ණ EIA වාර්තාවක් පිළියෙළ කළ හැකිය.
යෝජිත ව්‍යාපෘතිය මගින් බලපෑමට ලක්වන සත්ත්ව හා ශාක විශේෂයන් පිළිබඳව සටහන් කිරීමට විශේෂ වාර්තාවක් හඳුන්වා දිය යුතු ය. එමෙන්ම තාක්ෂණික නොවන සාරාංශයක් ද මෙම වාර්තාවට ඇතුළත් කළ යුතු ය. එමගින් සාමාන්‍ය ජනතාවට කියවා තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. තවදුරටත්, EIA වාර්තා සඳහා අනුමැතිය ලබා දීමේදී PAAs, මහජන අදහස් විමසීමෙන් ලබාගත් දායකත්වය කොතෙක් දුරට ඒ සඳහා යොදාගෙන ඇත්දැයි මහජනතාවට දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැකසිය යුතු ය. එසේ කිරීමෙන් බලධාරීතම ආයතන හා PAAs කෙරෙහි මහජන විශ්වාසය නැවතත් ගොඩ නැගිය හැකිය.
- ආහෙස් සම්මුතිය 1998
ආහෙස් සම්මුතිය මූලික කරුණු තුනක් මත පදනම් වී ඇත. එනම්: විනිවිදභාවය, මහජන සහභාගිත්වය හා නීති පිළියම් පැතීමේ පහසුවයි. මහජන සහභාගිත්වයේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය තහවුරු කරමින් මහජනතාවට ‘පරිසර තොරතුරු’ (environmental information) ලබාදිය යුතු බවට ආහෙස් සම්මුතිය සඳහන් කරයි. EIA වාර්තාවලට මහජන අදහස් විමසීමේ දින වකවානුව දින 90 දක්වා දීර්ඝ කර මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමෙන් එම PAAs සංවර්ධනය අරඹයා ගන්නා වූ තීරණවල වලංගුභාවය සහ නීත්‍යානුකූලභාවය තවදුරටත් වැඩිවේ. PAAs ලබාදුන් අනුමැතිය කඩකරමින් සංවර්ධන කටයුතු සිදු කරන්නා වූ ව්‍යාපෘති යෝජකයන්ට විරුද්ධව මහජනතාව නගන පැමිණිලි විභාග කිරීමට කඩිනම් ක්‍රමෝපායක් ස්ථාපිත කළ යුතු ය. මහජනතාව නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන නීතීඥවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන සත්‍ය වශයෙන්ම යෝජිත ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන මහජනතාව නියෝජනය කරන්නේ දැයි, PAAs තහවුරු කරගත යුතුය. එමගින් සවන්දිය යුත්තාට සවන් යොමු වෙන අතර ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීමට ද පහසුව සැලසේ.
මහජන සහභාගීත්වය යනු ජාතියක නීතිමය, දේශපාලනමය සහ පරිපාලනමය කරුණකි. එම නිසා ජාතියේ ස්වාධිපත්‍ය සහ මහජන සහභාගිත්වය වෙන් කළ නොහැකිය. EIA වාර්තා සඳහා මහජන සහභාගීත්වය තවදුරටත් වැඩි කිරීම සඳහා කටයුතු කිරීමෙන් මහජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සහ තිරසාර සංවර්ධනය කෙරෙහි ගන්නා වූ තීරණවල වලංගුභාවය, නීත්‍යනුකූලභාවය සහ කල් පවත්නාභාවය තවදුරටත් ඔප් නැංවේ.
List of References
- Central Environmental Authority – Guidance for Implementing the EIA Process: No. 1 – A General Guide for Project Approving Agencies (https://drive.google.com/file/d/1JPmEmhUftjjF8VSgLzZPRwwYIneA_fTz/view)
- Central Environmental Authority – Guidance for Implementing the EIA Process: No. 2 – A General Guide for Conducting Environmental Scoping (https://drive.google.com/file/d/1pElzKYp8OiJt2MtP0STVzmTUt-ggCqbl/view)
- Compilation of findings of the Aarhus Convention Compliance Committee adopted on 18 February 2005 to date (https://unece.org/sites/default/files/2021-02/Compilation_of_CC_findings_05.02.2021_eng.pdf)
- Maria Lee – Public Participation in Environmental Decision-Making
No comments yet.